V2025

ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහනේ පළමු අදියර අද

ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමිව ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහනේ පළමු අදියර අද (13) පුත්තලම දිස්ත්‍රික්කයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මෙමගින් ගමේ ජනතාවගේ සංවර්ධන ගැටළුවලට ක්ෂණික විසදුම් ලබාදීමට නියමිතව ඇති අතර  පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ම ජනතා නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව ඇති බවද වාර්තා වෙයි.

එසේම ගම් වැසියන්ට එහිදී ජනාධිපතිවරයාට ඍජුවම තම ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීම එහි ඇති විශේෂත්වයකි. 

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ නිවේදනයක් නිකුත් කර තිබු අතර එහි මෙසේ සඳහන් වෙයි.

ගමේ ජනතාවගේ සංවර්ධන ගැටලූවලට ක්ෂණික විසඳුම් ලබාදීම ගම හදන ගමන වැඩසටහන හරහා සිදු කෙරෙන අතර එහි පළමු වැඩසටහන මෙලෙස පුත්තලම – මහවැව – මැදගොඩ ප‍්‍රදේශයේදී හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි ජනතාවගේ නියෝජිතයින් පිරිසක් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ සංවර්ධන ගැටලූ ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වෙයි. පළාතේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් ද ඒ සඳහා කැඳවන අතර ඉදිරිපත්වන ජනතා ගැටලූ සඳහා එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා විසින් කටයුතු කරනු ඇත.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක වැඩසටහන ඉදිරියේදී සෑම දිස්ති‍්‍රක්කයකම කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.
මේ අතර ග‍්‍රාමශක්ති ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම් කමිටුව හෙට (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වෙයි. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම මෙහෙයුම් කමිටුවේදී ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ කි‍්‍රයාත්මකවන අන්දම සහ එහි ප‍්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් විමසා බැලෙනු ඇත.

රටේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ප‍්‍රමුඛ අරමුණ ඇතිව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත 2017 වසරේදී ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරිණි. මෙතක් කි‍්‍රයාවට නංවා තිබෙන දිළිදුභාවය පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතරින් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වෙනස් ව්‍යාපාරයක් බවට පත්වන්නේ එය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්ව උත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසාය.

එමෙන්ම එදා මෙදා තුර, දිළිදුකම පිටුදැකීම වෙනුවෙන් සිදු කෙරුණු බොහෝ ව්‍යාපෘති දියත් කෙරුණේ රජය සහ ජනතාව අතර ගනුදෙනුවක් වශයෙනි. එහෙත් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය තුළ පළමු වරට දිළිදුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් සාර්ථක වීමට පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත් පරිදි යොදා ගැනීමට කටයුතු කරයි. එසේ කරනුයේ, ජනතාවගේ නිෂ්පාදනවලට වඩාත් හොඳ සහ ස්ථාවර මිලක් සහ අඛණ්ඩ වෙළෙඳපොළක් සම්පාදනය කිරීම සඳහායි.

ඒ අනුව ඕනෑම කුඩා ව්‍යවසායකයෙකුට තම ව්‍යාපාර දියුණු කර ගැනීමට දැවැන්ත සමාගම් සමග කරට කර කටයුතු කිරීමට මග පෙන්වීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් ඉටුකරනු ඇත. ඔවුන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ සොයාදීම, ණය සහ ආධාර ලබාදීම ග‍්‍රාමශක්ති ව්‍යාපාරය හරහා සිදු වෙයි. එමඟින් ඔවුන්ගේ ජීවිත නංවාලමින් එම නිෂ්පාදන රටට විදේශීය විනිමය උපයාදෙන මාර්ගයන් බවට පත්වනු ඇත. මෙම අරමුණු ඉටුකර ගැනීමට මෙරට මෙන්ම විදේශයන්හිද ප‍්‍රචලිත පෞද්ගලික සමාගම් සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹිම ද සිදු වෙයි.

හෙට පැවැත්වෙන වයඹ පළාත් මෙහෙයුම් කමිටුවේදි පුත්තලම සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වෙයි.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන නිෂ්පාදන ගම්මාන දෙකක් ද හෙට ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වීමට නියමිත අතර, ඒ අනුව තලවිල ප‍්‍රදේශයේ සහ මොහොට්ටුවාරම නිෂ්පාදන ගම්මානයේ ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found