නොයෙක් නොයෙක් අය පොලීසියට මඩ ගැහුවත් පොලීසියේ රාජකාරි කරගෙන යන බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසයි.
එසේම පොලිසිය වැඩ කරන ආකාරය ගැන පත්තර වලට සහ මාධ්‍ය වෙත දන්වමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම අනවශ්‍ය බවද පොලිස්පතිවරයා සඳහන් කර ඇත.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනයට උත්සාහ දරන ලද අය පැය කිහිපයක් ඇතුලත හඳුනා ගැනීමට පොලීසිය සමත් වූ බවද සඳහන් කරන පොලිස්පතිවරයා එය පෞද්ගලික කෝන්තරයක් මත සිදුව ඇත්තක් බවත් ඒ හැර ඊට පාතාලයේ සම්බන්ධයක් නොමැති බවද පවසයි.
උත්සව සභාවක් අමතමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළකර ඇති අතර මේ පිළිබඳ අදහස් දක්වන මාධ්‍ය විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ මෑතක සිට පොලිස්පතිවරයා කිසියම් පාර්ශවයක් ඉලක්ක කර තම අදහස් දැක්වීම් සිදුකරන බවක් පෙනෙන්නට ඇති බවය.
ඒ බව සඳහන් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ "අසුචි මුත්‍රා" නිදර්ශනයට ගනිමින් මීට පෙරද පොලිස්පතිවරයා සිය අදහස් දැක්වීම සිදුකල බවත් එහිදීද තමන්ට එල්ලවන චෝදනා සඳහා වක්‍රව පිළිතුරු දෙන ස්වභාවයක් මෑතක සිට පොලිස්පතිවරයාගේ ප්‍රකාශ හරහා සිදුවන බවය.
"අසුචි මුත්‍රා" නිදර්ශනයට ගනිමින් මීට පෙර පොලිස්පතිවරයා සඳහන් කර තිබුණේ,
‘ඉතාම දුර්ඝන්ධය හමන අසුචි ගොඩක වැටිල ඉන්න මනුස්සයෙක් ටිකක් නුදුරින් පාරක යනව සුදු වස්ත‍්‍රයක් ඇදගත්ත මනුස්සයෙක්. ඒ මනුස්සයගෙ සුදු වස්ත‍්‍රය තුල අහම්බයෙන් වැටුනු මුත‍්‍රා බිදුවක් තියෙනව. මේක හොදට පේනව අර මනුස්සයට. කෑගහල කියනව වටපිටාවෙ ඉන්න අයට ඇහෙන්න ‘අර බලපන්කො අර මනුස්සය යන හැටි කැතේ බෑ’ කියල. එයා ඉන්නෙ කොහෙද. මෙය අපේ සමාජයෙ කීයෙන් කී දෙනෙකුට කොයි පමණකින් ගැලපෙනවද කියන එක ඔබ තීරණය කරන්න’ කියාය.

