ගෝඨාභය සහ නීතිපති අතර එකඟතාවක් !

ගෝඨාභය සහ නීතිපති අතර එකඟතාවක් !

රාජපක්ෂ රෙජීම සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්  පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරියටත් බලාත්මක කිරීමට අභියාචනාධිකරණය කර ඇත.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් පොදු දේපල පනත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදාළ කර නොගන්නා ලෙස ද අධිකරණය නියම කර ඇත.

මෙම නියෝග නිකුත් කර ඇත්තේ ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (14) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා අතර එකඟතාවන් කිහිපයක් ඇති කරගෙන තිබූ අතර ඒවා ලිඛිතව අධිකරණය හමුවේ සටන් කර ගැනීමද සිදුව තිබේ.

ඒ අනුව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ  සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ තවදුරටත් සහතික  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බව ද නීතිපතිවරයාගේ පාර්ශවයෙන් අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය තවදුරටත් නියම කර ඇත්තේ  මහේස්ත්‍රාත් අධිකරණය නොතීසියක් ලද විට පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ හමුවේ පෙනී සිටි යුතු බවය.

එසේම  මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 25 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට ද ගෝඨාභය රාජපක්ෂට  අධිකරණය නියම කර ඇත. තවද  පෙත්සම ජුලි මස 25 වනදා යළි කැඳවීමට ද අභියාචනාධිකරණ  තීන්දු කර ඇත.

 ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සම ගොනුකරමින්  අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ  මැදමුලන ඩී.ඒ.   රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට සූදානම් වන බවය.

ඒ සඳහා පොලීසිය විසින් දැනටමත් පොදු දේපල පනත යටතේ සහතිකයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් එම සහතිකය ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න