සිංහරාජ රක්ෂිතයේ සිටින අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙසත් යම් ලෙසකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදු කරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති බව වාර්තා වෙයි.
අද(14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ නිලධාරීන් හමුවු අවස්ථාවේදී ජනාධිපතිවරයා පරිසර අමාත්‍යංශ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ බව දැනුම්දී ඇත.
මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසත් ලෝක ප්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුත් සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශ්‍රිතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ද ජනධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

