ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම් නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනා පෙත්සමක් අද (15) ඉදිරිපත් කර ඇත.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් කරනු ලැබූ අතර ඊට අදාළ නඩු විභාගයක් අවස්ථාවේ ඔහුගේ බිරිඳවූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට ඊයේ(14) දිනයේ දී මාස 6කින් ගෙවී යන පරිදි බරපතළ
වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කරනු ලැබිණ.
ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන් වැරදිකරු බවට ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කරනු ලැබිණ.
අදාළ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවම් නියෝගයෙන් නිදොස් කොට නිදහස් කරන මෙන් හා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස වන අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඥානසාර හිමියන්ගේ නීතිඥ මංජුල මහාකුඹුර විසින් එය ඉදිරිපත් කර ඇත.
ඥානසාර හිමියන් මරණ තර්ජනයක් කර නැහැ : ලබාදුන් තීන්දුව සැකයි - බොදුබලේ කියයි
මේ අතර ජනමාධ්‍ය මඟින් වාර්තා කළ අන්දමට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් එක්නැලිගොඩ මහත්මියට මරණ තර්ජන එල්ල කර නොමැති බව බොදු බල සේනා සංවිධානය පවසයි.
අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ විතාරන්දෙනියේ නන්ද හිමියන් සඳහන් කර සිටියේ ගලාබාඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් ඊට වඩා වැරදි කළ පුද්ගලයින් නිදහසේ සිටිනබවය.
ඊට එක්වූ මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කර සිටියේ සමත මණ්ඩලය තුළ විසඳිය හැකි නඩුවක් අධිකරණයට ගොස් වසරක සිරදඬුවමක් මාස හයකින් ගෙවී යන පරිද්දෙන් ලබාදී ඇති බවය. එසේම පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිලෙසවත් එක්නැලිගොඩ මහත්මියට මරණ තර්ජන නොකළ බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඥානසාර හිමියන් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ " තිගේ මිනිහා කොටියෙක්" යනුවෙන් බවද ගල්කන්දේ සුදත්ත හිමියන් පැවසීය.
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ආරක්ෂාව සපයන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ජනාධිපති සමාවක් ඉල්ලීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

