Language Switcher

V2025

ශ්‍රීලනිප 16 බැසිල්ගෙන් එළිපිට ගේම ඉල්ලයි : "මාල හොරා" කියමින් ගෝලයන්ටත් බැට දෙයි

තම පාර්ශවය කාගේවත් මෙහෙයවීම යටතේ නොමැති බවත් අද කටු කන්න ගිය ලෙස තමන්ට චෝදනා නගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ මොහොතේ ඔහුව දමා ඇමරිකාවට පළාගිය බැසිල් රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ නිදහසේ වේදිකාව ජනරැලි මාලාවේ දෙවන රැළියට අද (16) මාතලේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

බැසිල්ලා ඉටුකරන්නේ එජාප අවශ්‍යතාව - දයාසිරි 

තමන් කාගේවත් කටු කන්න ආණ්ඩුවට නොගිය බවත් කටුව ඇතුළෙන්ම සුප්පු කරන්නට ගිය අය මහින්ද රාජපක්ෂගේ පරාජයට වගකිවයුතු බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එසේම වෙනත් විපක්ෂයක් නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වන්න එන පාර්ශව භාරගන්නා නමුත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස කටයුතු කරන මේ පාර්ශව තමන්ට විවිධ චෝදනා එල්ල කරන බවත් කොහොමටත් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටු කිරීම සදහා තම පිරිස සූදානම් නොමැති බවද ඔහු පවසා ඇත.

බැසිල් පැනලා ගියාට අපි ගියේ නෑ - එස්.බී 

මෙහිදී අදහස් දැක්වූ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂව දමා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගියත් තම පාර්ශවය පක්ෂය හැර නොගොස් සිටි බවය. 

එවැනි පළාගිය පාර්ශව මොනවා කීවත් පොහොට්ටුවේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ එකම සහෝදර පිරිසක් බවද සඳහන් කල මන්ත්‍රීවරයා තම පාර්ශවය පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ යෝජනා කල ආකාරයට සියලු දෙනා එකට එකතුව එජාප විරෝධී බලවේගයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වූවා නම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට තිබූ බවද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් සමග පොදුජන පෙරමුණෙන් තරඟ කරන බවද ඔහු පැවසීය.

මාල හොරා දන්න නීතියක් තියනවද - ඩිලාන් 

මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙම අවස්ථාව අමතමින් සඳහන් කර සිටියේ  මාල හොරකමේ ගිය අයෙකු පසුගියදා තමන් සිදුකල ප්‍රකාශයක් ගැන කිසිඳු දැනුමක් නොමැතිව ප්‍රතිචාර දක්වා ඇති බවත් මාල හොරුන් නීතිය ගැන දන්නා දෙයක් නොමැති බවත් ය. 

තමන් මෛත්‍රී ජනාධිපතිකර මහින්ද අගමැති කිරීමට සූදානම් බවට යෝජනා කල විට මාල හොරා "අම්මෝ, අපේ මහින්ද මහත්තයා අගමැතිකරන්න පුළුවන්ද" අසමින් නීතිය ගැන නොදන්නා කම ඔප්පු කල බවද මන්ත්‍රීවරයා පැවසීය.

නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ පසුගියදා 16 කණ්ඩායම පිළිනොගන්නා බවට පොදුජන පෙරමුණේ සාමාජික හිටපු මන්ත්‍රී  බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.