Language Switcher

V2025

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් : දේශපාලන තීන්දුවක් ගන්න සැරසෙයි !

රාජපක්ෂ පවුලේ මතුව තිබෙන බල අරගලය පාලනය කළ නොහැකි ආකාරයට ඔඩුදුව යමින් ඇති බවත් ඒ සම්බන්ධව කලකිරී සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් දේශපාලන තීන්දුවක් ගැනීම වෙනුවෙන් රහස් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නියෝජිතයකු සඳහන් කර සිටින ආකාරයට ආණ්ඩුවෙන්  ඉවත්වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ඇතුළුව ප්‍රගතිශීලී බලවේග එක්වූ වෙනම ව්‍යාපාරයක් බිහිකිරීම කෙරෙහී ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

එහිදී  සිංහල ජාතිකවාදී දේශපාලන පක්ෂ සහ සංවිධාන සමඟද සංවාදයක් ආරම්භ කිරීමටද අවධානය යොමුකර ඇති බවද සඳහන් වෙයි.

එසේම  බැසිල් රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂය යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීම පමණක් සිදු කිරීමත් එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ නොතකා හැරීම දිගින් දිගටම සිදුවීමත් මෙම තීන්දුව ගැනීමට හේතුවූ බවද ඔහු පවසයි.

තමන්ට තම පාර්ශවය තුළ කේවල් කිරීමට නොව අවම වශයෙන් ආණ්ඩුවට එරෙහි සටන් පාඨයක් හෝ ක්‍රියාවට නැගීමට ඉඩක් නොමැති නම් විකල්ප බලවේගයක් නිර්මාණය කර තම බලය පෙන්වීම ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ අපේක්ෂාව වී ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.