ගිවිසුමකින් තොරව සති දෙකක් හෝ තුනක් ඇතුළත ඉරානයට එල්ල කරන හමුදා ප්‍රහාරවලින් ඉවත් වීමට අමෙරිකාවට හැකි බවත්, මෙම ගැටුම සමතයකට පත් කිරීමට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ටෙහෙරානය ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය නොවන බවත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙසේ වෙතත්, හෙට දිනයේදී මැදපෙරදිග පවතින යුද තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද විදෙස් වාර්ත සදහන් කළා.
මේ අතර, ඉරානයට සහාය වීම සඳහා චීනය සහ රුසියාව දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම්වලට එරෙහිව ක්‍රියා කරන බවත්, අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළා.
මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බව ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙග්සෙත් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, ඉරානය විසින් එල්ල කරනු ලබන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් සිය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම සඳහා මැදපෙරදිග කලාපයට අතිරේක හමුදා කණ්ඩායම් සහ නවීන ගුවන් ආරක්ෂණ පද්ධති යෙදවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි කියා සිටියේ, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ''විශිෂ්ටතම'' යුධ ශක්තිය මෙලෙස යොදවන බවයි.
එමෙන්ම, යුද්ධයේ නියැලී සිටින සියලුම පාර්ශවයන් බලශක්ති සහ න්‍යෂ්ටික යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි කටාර් රාජ්‍යය ඉල්ලා සිටින බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, වසර 17ක කාලය තුළ රන් මිල වාර්තා කළ විශාලතම මාසික පහත වැටීම මේ මාසයේදී සිදුව තිබෙනවා.
මෙම මස තුළ රන් මිල දළ වශයෙන් සියයට 15කින් පමණ පහත වැටී ඇති අතර, මෙය 2008 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ දරුණුතම පසුබැසීම ලෙසයි සැලකෙන්නේ.

