රජය ගෙනාවේ බාල ගල් අඟුරු කියලා රජය ම පිළිගැනීම සමගි ජන බලවේගයේ ජයග්‍රහණයක් - විපක්ෂ නායක 

රජය ගෙනාවේ බාල ගල් අඟුරු කියලා රජය ම පිළිගැනීම සමගි ජන බලවේගයේ ජයග්‍රහණයක් - විපක්ෂ නායක 

රජය ගෙන ආ ගල් අගුරු බාල බව කියා රජය පිළිගැනීම සමගි ජන බලවේගය ලැබූ ජයග්‍රහණයක් බවත් සත්‍ය වශයෙන් මේ ගල් අගුරු වංචාව තුළ අනිවාර්යෙන්ම දූෂණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (24) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මේ වංචාවේ පාඩුව විදින්න වෙන්නේ ජනතාවට

බාල ගල්අඟුරු වංචාව දූෂණය ගැන සමගි ජන බලවේගය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළත් රජය දිගින් දිගටම බාල ගල් අඟුරු ගැන සමගි ජන බලවේගය ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළා. මේ වන විට බාල ගල් අඟුරු ඇති බවට රජය පිළිගන්නා බවට දැන ගන්නා නමුත් දූෂණයක් සිදුව නැති බවට රජය ප්‍රකාශ කරනවා. රජය ගෙන ආ ගල් අඟුරු බාලයි කියල රජය පිළිගැනීම සමගි ජන බලවේගය ලැබූ ජයග්‍රහණයක්. සත්‍ය වශයෙන් මේ ගල් අගුරු වංචාව තුළ අනිවාර්යෙන් ම දූෂණයක් සිදු වෙලා තියෙනවා. මේ බාල ගල් අඟුරු ගෙන්වීම නිසා අවශ්‍යව ඇති ගල් අඟුරු ප්‍රමාණයට වඩා වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් ගෙන්වීමට සිදුවෙනවා. වැඩිපුර ගල් අගුරු ඇනවුම් කිරීම තුළ රටට ජනතාවට පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක් සිදුවෙනවා. මේ මූල්‍ය පාඩුවේ බර කරට ගැනීමට සිදුවන්නේ රජයට සහ ජනතාවට; එනම් බදු ගෙවන්නන්ගෙන් සහ විදුලි පාරිභෝගිකයන්ගෙන්.

ඇත්ත ඇති සැටියෙන් ජනතාවට ඉදිරිපත් කරන්න

බාල ගල් අඟුරු වංචාව තුළ විශේෂයෙන්ම මූල්‍ය පාඩුව රු. බි. 8ක් ලෙස විදුලි බල මණ්ඩලය තක්සේරු කරනවා. මේ තක්සේරුව සමගි ජන බලවේගය පිළි ගන්නෙ නැහැ. මීට වඩා වැඩි පාඩුවක් මෙහි දී සිදුව තිබෙනවා. මේ තක්සේරුව හරහා බාල ගල් අඟුරු භාවිතයෙන් උපකරණවලට වන හානිය ගණනය කර නැහැ. විදුලි බල අමාත්‍යාංශය සහ රජය ඇත්ත ඇති සැටියෙන් ජනතාවට ඉදිරිපත් කළ යුතු යි.

මේක ඉන්ධන මාෆියාවට මුල පිරීමක්

මාර්තු පලවෙනි දායින් පසු හොඳ ප්‍රමිතියේ රුසියානු ගල් අගුරු සියල්ල අවසන් වෙනවා. මෙගාවොට් 900 නිපදවන්න යුනිට් තුනක් ක්‍රියාත්මක යි. ඒකක එක සහ තුන තුළ අලුත් ගල් අඟුරු යෙදීම නිසා ඒවා බාල බවට පෙනී යනවා. බාල ගල් අඟුරු නිසා විදුලි බල පද්ධතියට ගැටලුවක් නොවන බවත් පුනර්ජනනීය බලශක්තිය තුළින් එය ආවරණය කළ හැකි බවට පැවසුවත් එය අසත්‍යයක්. වංචාව නිසා මගහැරුණු ප්‍රමාණය උත්පාදනය කළ යුත්තේ පුනර්ජනනීය නොවන බලශක්තිය හෙවත් ඉන්ධන මාෆියාවට යි.

බාල ගල්අඟුරු ගෙන්වීම කුමන්ත්‍රණයක්

නොරොච්චෝල බලාගාර විද්‍යාගාරය දකුණු අප්‍රිකානු ගල්අගුරු තත්ත්වයෙන් බාල බවට අනාවරණය කර ගෙන තිබෙනවා. එය සත්‍ය වාර්තාතාවක්. මේ තුළින් මේ ගල් අඟුරු බාල බවට පෙනී යනවා. මේ බාල ගල්අඟුරු ගෙන්වීමේ කුමන්ත්‍රණය නිසා රටේ ජනතාවට වන්දි ගෙවන්න සිදුවෙනවා. දැන්වත් මහජන උපයෝගීතා කොමිසම විදුලි පාරිභෝගිකාය රැක ගන්න කටයුතු කළ යුතු යි. විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ ගල් අගුරු වංචාව පිළිබඳ ජනතාව ගේ පැත්තෙන් බලා පරීක්ෂණයක් සිදු කළ යුතු යි. එය මහජනතාවට විවෘත විය යුතු යි.

ගල්අඟුරු වංචාව ගැන හොයන්න පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි

විපක්ෂ නායක කාර්යාලය පවා විදුලි බල ක්ෂේත්‍රයේ විශේෂඥයන් කැඳවා ඔවුන් ගේ අදහස් ද ගෙන නිවැරදි තොරතුරු හා දත්ත ජනතාවට ඉදිරිපත් කරනවා. මේ වංචාව ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇති කර එහි සභාපතිකම විපක්ෂයට යා යුතු යි. එහි සංයුතියේ බහුතර විපක්ෂයට යා යුතු යි. එවිට සත්‍ය අනාවරණය කර ගත හැකි යි. අද මේ රජය නිසා පුනර්ජනනීය බලශක්තියට මරු පහරක් එල්ල වි ඇති නිසා මේ ගල් අඟුරු වංචාව ගැන අපක්ෂපාතී විමර්ෂණයක් අවශ්‍ය යි. ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න