ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරමින් සිටින ප්‍රහාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි ලෙස හෙලා දකියි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, සහ එවැනි න්‍යෂ්ටික අවි පැවතීම පිළිබඳව පිළිගත හැකි සාධක නොමැති තත්ත්වයක් තුළ න්‍යෂ්ටික අවි පිළිබඳ චෝදනා කරමින් මෙලෙස දෙවන වතාවටත් පහරදීම ජාත්‍යන්තර නීති සහ සම්මුති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.
මේ එලෙස සාකච්ඡා අතරතුර එල්ල කරන ලද දෙවන ප්‍රහාරය යි. වැඩෙන අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයත්, දිනෙන්දින ගිලිහී යන ආර්ථික ආධිපත්‍යය රැක ගැනීම සඳහා සිය යුද බලය අත්තනෝමතික ලෙස යොදා ගැනීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ගේ සැලසුමත් විසින් ලෝකය ලේ ගංගා වල ගිලී යාමේ අනතුරක් උද්ගත කර ඇත. මෙම ප්‍රහාරයේ ආරම්භක මොහොතේ ම ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිය ගණනක් දැරියන් මියයාම සංකේතවත් කරන්නේ මෙම යුද්ධයේ ම්ලේච්ඡ ස්වභාවය යි. මෙම ප්‍රහාර දේශපාලන නායකයින් සහ හමුදාවල ඉහළ නිලධාරීන් ඉලක්ක කරගත් ඝාතන ස්වරූපයක් ගෙන ඇති අතර, ඒ සමගම සිදුවන දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ දරුණු සිවිල් ජීවිත හානි සිදුවී තිබේ.
අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයේ පරාවර්තන
සෝවියට් දේශය ප්‍රමුඛ කඳවුර බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය තනි ලෝක බලවතා වූ ඒක ධ්‍රැවීය තත්ත්වයක් ඔවුන් අපේක්ෂා කළ ද එය ඉතාම කෙටිකාලීන විය. ඉතා ඉක්මනින් ලෝකය බහු ධ්‍රැවීය ලෝකය ලෝකය තුළ අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය උත්සන්න වෙමින් පවතින අතර ට්‍රම්ප් පාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව තීරු බදු ප්‍රතිපත්ති, වෙළඳ යුද්ධ, යුක්‍රේනයේ - පලස්තීනයේ - වෙනිසියුලාවේ - ඉරානයේ ආක්‍රමණික සිදුවීම් එම අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයේ පරාවර්තන යි. ඒකාධිකාර ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් දියත් කරනු ලබන අධිරාජ්‍යවාදී යුද්ධය ලෝකයටම විනාශය කැඳවමින් සිටින අතර පළමු පියවරේදීම මනුෂ්‍යත්වය අවදානමට ලක් කර ඇත. එමෙන්ම න්‍යෂ්ටික බලවතුන් අතර වර්ධනය වන යුද ආතතිය විසින් මිනිස් වර්ගයාගේ සහ සමස්ත මිහිතලයේමත් පැවැත්ම අවදානමේ හෙලා ඇත. මෙම තත්ත්වය තුළ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර පරිමාණයේ ජනතා බලයක් ගොඩනැගීම මෙන්ම එයට වැඩකරන ජනතාව ගේ නායකත්වයක් තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්ව පවතී.
ආක්‍රමණය පරාජය කළ නොහැකි වුවහොත්...
ඉරාන පාලක පන්තියේ අතිශය මර්දනීය සහ ආගමික මූලධර්මවාදී පාලනය හුවා දක්වමින් ඉරානයට එරෙහිව සිදු කරනු ලබන අධිරාජ්‍යවාදී ප්‍රහාරය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි ය. ඉරාන පාලන තන්ත්‍රය වෙනසක් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ඉරාන ජනතාව වන අතර ජනතාව ගේ ප්‍රජාතාන්තවාදය දිනාගැනීමේ අභිලාෂ අධිරාජ්‍යවාදී වුවමනා වෙනුවෙන් අවභාවිතා කිරීම අපි තරයේ හෙලා දකිමු. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආක්‍රමණ සහ යුදමය ප්‍රහාර හරහා කිසිදු රටක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා නොදෙන බවත් සිදුවන්නේ ඊට ප්‍රතිපක්ෂව ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් වඩවඩාත් හැකිළීම බව අප හොඳින්ම දනිමු. අධිරාජ්‍යවාදීන් උත්සාහ ගන්නේ ඉරාකය, සිරියාව, යේමනය ආදී රාජ්‍ය මෙන්ම ඉරානය ද යටත් කර සිය මූලෝපායික අවශ්‍යතා ඉටු කර ගැනීමට මිස ඉරාන ජනතාවට අයිතීන් ලබාදීමට නොවේ. පෙර සඳහන් කළ අනෙකුත් රටවල් මෙන්ම මෙම ආක්‍රමණය පරාජය කළ නොහැකි වුවහොත් ඉරානය ද, කැබලි වීමේ, දේශපාලන අස්ථාවරත්වයේ, දිගුකාලීන සිවිල් යුද්ධවල පැටලුණු සහ අධිරාජ්‍යවාදී රූකඩ රාජ්‍යයක් වීමේ ඉරණමට ගොදුරු වනු ඇත. එනිසා අධිරාජ්‍යවාදීන්ගේ උගුලට හසු නොවී, ඉරාන පාලක පන්තිය සමග වන ගනුදෙනුව බේරා ගැනීමට පුළුල් ජන බලයක් ගොඩනගන ලෙස අපි ඉරාන වැඩකරන පන්තිය ප්‍රමුඛ ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
අධිරාජ්‍යවාදී වියගසෙන් මිදීමට සහ තමන්ගේම රටේ පාලක පන්තියේ ආගමික එකාධිපතීත්වය පරාජය කිරීමට ජාත්‍යන්තර වැඩකරන ජනතාව වෙත හැරෙන ලෙස අපි ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එම නිසා;
1.ලෝකය තුළ සිය බලාධිපත්‍යය තහවුරු කිරීම සඳහාත්, මූල්‍ය ධනවාදී ඒකාධිකාර වල අභිලාෂ උදෙසාත් දිගහැරෙන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වෙමු.
2. ඉරානයට එල්ල කරන ප්‍රහාර වහාම නතර කිරීමට බලකරමු. මෙම යුද්ධය මහා ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදෙමු.
3.මැදපෙරදිග කලාපය පුරා බිහිකර තිබෙන ඇමරිකා එක්සත් ජනපද මිලිටරි කඳවුරු වහා ඉවත් කිරීමට බල කරමු.
මෙම ක්‍රියාමාර්ග සඳහා අධිරාජ්‍යවාදීන්ට මෙන්ම අධිරාජ්‍ය ගැති දේශීය පාලක පන්තියටද විරුද්ධව ස්වාධීන වැඩකරන ජනතාවගේ සහ නිර්ධන පන්තියේ බලයක් අවශ්‍ය වේ. ලෝක පරිමාණයෙන් එවැනි පුළුල් අධිරාජ්‍යවිරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට පෙරට එන ලෙස අපි සමස්ත ලෝකවාසී වැඩකරන ජනයාගෙන් ඉල්ලා සිටිමු. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ලෝක පරිමාණ ක්‍රියාකාරීත්වය සමග එක්වන ලෙස අපි ලංකාවේ ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු.

