මැදපෙරදිග යුද ගැටුම් පිළිබඳව රජය ගෙන ඇති පියවර කවරේ ද...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

මැදපෙරදිග යුද ගැටුම් පිළිබඳව රජය ගෙන ඇති පියවර කවරේ ද...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

මැදපෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ ආරක්ෂක ස්ථාවරයකට ලක්ව ඇති බවත් එය ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවල නිරතවන්නන් හට ගුවන් ගමන් විදේශ මුදල් ප්‍රේෂණ හා සංචාරක ක්ෂේත්‍රය මත ද අපනයන හා සෘජු විදේශ ආයෝජන ආදී ක්ෂේත්‍ර ගණනාවක් බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

24 පැය හදිසි ප්‍රතිචාර ඒකක ශක්තිමත් කරන්න

''මැදපෙරදිග රටවල උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන්න. අප රටේත් ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව මෙන්ම ආර්ථික හා සමාජීය මෙන්ම දේශපාලනික වශයෙන් සිදුවන බලපෑම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න. මැද පෙරදිග කලාපයේ රටවල් ගණනාවක සේවය කර ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය රටවල් අනුව වෙන් වෙන්ම ඉදිරිපත් කරන්න. මෙම ගැටුම ව්‍යාප්ත වීම නිසා ශ්‍රී ලාංකිකයන් ගේ ජනජීවිතවලට හා ජිවිතවලට තර්ජනයක් ඇති වුවහොත් එම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීමටත් ආරක්ෂාව සැලසීමටත් අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න. මේ වන විට බොහෝ රටවල් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන නිසා අප රටද එවැනි වැඩපිළිවෙළක් සකස් කළ යුතු යි. අදාළ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල 24 පැය හදිසි ප්‍රතිචාර ඒකක ශක්තිමත් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.

තෙල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේ ද?

ගුවන් ගමන් අවලංගු වීම හෝ ගුවන් අවකාශ වසා දැමීම නිසා මැදපෙරදිග වෙනත් රටවල ගුවන් තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවත් ඔවුන්ට ලබා දෙන රැකවරණය හා ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර ඉදිරිපත් කරන්න. මොවුන්ට අවශ්‍ය නවාතැන් ආහාර වෛද්‍ය පහසුකම් නීතිමය සහන සහ රැකවරණය ලබා දී ඇත් නම් ඒවා ඉදිරිපත් කරන්න. වෙනත් ප්‍රවාහන ක්‍රම සලකා බැලීම ගැන රජයක් ලෙස ගෙන ඇති පියවර ඉදිරිපත් කරන්න. මැදපෙරදිග ආර්ථික අස්ථාවරතාව නිසා මුදල් ප්‍රේෂණ අඩු වීමේ අවදානමක් ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වුවහොත් එය කළමනාකරණ කර ගැනීමට අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කරන්න. තෙල් නිෂ්පාදනය කරන මැදපෙරදිග සහ මැදපෙරදිග නොවන රටවල් සමග මෙරටට අවශ්‍ය තෙල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ගෙන ඇති සුවිශේෂ පියවර ඉදිරිපත් කරන්න..

ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉහළ ගියහොත්...?

හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා නාවුක ප්‍රවාහන කටයුතුවලට බාධා ඇති වුවහොත් විකල්ප සැපයුම් ක්‍රමවේදවලට අවධානය යොමු කර ඇත් නම් එය ඉදිරිපත් කරන්න. ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ශ්‍රී ලාංකවට වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට විශේෂ සාකච්ඡා පවත්වා ඇත් නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් අප රට කෙටි කාලයක් තුළ ඛේදවාචක 4කට මුහුණ දී ඇති බවත් මේ ඛේදවාචකයන් තුළ අප රටට සුවිශේෂි වැඩපිළිවෙලක් හරහා ඉන්ධන මිල කළමනාකරණය කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් රජය සුවිශේෂ පියවර ගෙන ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය. සපුගස්කන්ද තෙල් පිරිපහදුවට තෙල් එන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යි. පිරිපහදු තෙල් ගෙන්වන්නේ සිංගප්පූරුවෙන් හා ඉන්දියාවෙන් වුවත් මේ රටවලට පවා බොර තෙල් එන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා බැවින් මේ සැපයුම් දාමය සම්බන්ධයෙන් රජය දැනුවත් විය යුතු යි.

LNG, GAS ප්‍රවාහනයට බාධා එන නිසා එය අප රටට වක්‍රව බලපෑම් සිදුවනවා. මෙහි දී නෞකා රක්ෂණ මිල ඉහළ යාම නෞකා මාර්ග වෙනස් වීම, තේ අපනයනය ආදිය බලපෑම් එල්ල වන නිසා මෙය සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථිකයට බලපෑම් වන නිසා මේ සම්බන්ධයෙන් රජය දැනුවත් විය යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න