අලූත් සංවර්ධන රටාව සමහරුන්ට දිරවන්නේ නැහැ - පාඨලී

අලූත් සංවර්ධන රටාව සමහරුන්ට දිරවන්නේ නැහැ - පාඨලී

යහපාලනය ස්ථාපිත කළේ රජයේ සේවකයන්ට, කොන්දක් ඇතිව කාර්යක්ෂමව වැඩ කරන්න නමුත් රාජ්‍ය නිලධාරීන්  ඒ කොන්ද කෙලින් තියාගෙන ජනතා සංවර්ධනයට බාධා ඇති නොකළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

සංවර්ධනයේ ප‍්‍රධාන බාධකයක් නම් රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීම බවත්  විශේෂයෙන්ම මෙවැනි සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩමක් වෙන් කර ගැනීමට යාමේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුවන රාජකාරී සඳහා සෑහෙන කාලයක් ගත වෙන බවත් අමාත්‍යවරයා පවසයි. 

අමාත්‍යවරයා  මේ බව පවසා සිටියේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කි‍්‍රයාත්මක වේරැස් ගඟ වැසිජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් බොරලැස්ගමුව සංවර්ධන කලාපය තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට විශේෂ අවශ්‍යතා දරුවන් වෙනුවෙන් ඉදි වූ ‘කෙළිමඩල’ ළමා උද්‍යානය දරුවන් ඇතුළු පොදුජන අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  

‘එදා තිබුණු ගම හා වටපිටාව අද නැහැ. විධිමත් නාගරිකරණයක්් ඇති කර ගැනීමේ අභියෝගයට අද අපි මුහුණ දී තිබෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 1% ක් මේ සමාජයේ ඉන්නවා. එම දරුවන් වෙනුවෙන් සුවිශේෂී ස්ථානයක් මේ නාගරික පරිසරය තුළ වෙන් කළ යුතුයි. වර්ණය, හඬ ඇහෙන්නේ, පෙනෙන්නේ නැති දරුවන්ට, දෑත දෙපය හසුරුවන්න බැරි අපේ දරුවන්ටයි මේ කෙළිමඩල අයිති. ඒ වගේම වැඩිහිටියන්ටත් මෙම ස්ථානයට එන්න පුළුවන්. ඉදිරියේදී කොට්ටාව ප‍්‍රදේශයෙත් මෙවැනි ස්ථානයක් ඇති කිරීමට පියවර ගන්නවා.

මෙම පිළියන්දල 120 මාර්ගය, මාර්ග තදබදය අතින් ඉහළ ස්ථානයක් ගන්නවා. දිනකට ලක්‍ෂ ගණනක් මෙම මාර්ගය භාවිත කරනවා. මේ තත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී සැහැල්ලූ දුම්රිය පද්ධතියක් මෙම ප‍්‍රදේශය හරහා ගමන් කරන්නටත් අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම ප‍්‍රදේශයේ ජනතාවට ඉතාම පහසුවෙන් කොළඹට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. අපට මැජික් වගේ සංවර්ධන ව්‍යාපෘති කරන්නට බැහැ. විවිධ අනපනත් සියයකට වැඩි ගණනක් හරහා සංවර්ධන ව්‍යාපෘතියක් අනුමත කර ගැනීමට වසර 3 කට වැඩි කාලයක් ගත වෙනවා. විශේෂයෙන් අධිවේගී මාර්ග මුලින්ම සැලසුම් කළේ 1968 දී. ඒවා සැලසුම් කරන්න දශක ගණනාවක් ගතවී තිබෙනවා. ඒවා ඉදිකිරීම් කළේ පසුගිය කාලයේදී. නමුත් තම කාලයේ සිදු වූවා යැයි කියමින් බෝඞ් ගහ ගන්න පිරිසක් සිටිනවා. ඒ මහා සංවර්ධනය සිදු කලා යැයි කියන පිරිසගෙන් අපි අහනවා හදපු එක රාජ්‍ය ආයතනයක් පෙන්වා දෙන ලෙස. බාරගත්ත හැම රාජ්‍ය ආයතනයක්ම කාබාසිනියා කර තමයි අපට බාර දුන්නේ. නමුත් වර්තමානයේ අපි එම ආයතන ආදායම් උපදවන ගමන් ජනතාවට සහනයක් ලබාදෙමින් විනිවිද පෙනෙන ආකාරයට සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කරනවා. පසුගිය සමයේ කොළඹ ඉඩම් සතපහක්වත් නොමැතිව නොමිලේ විදේශ ආයතනවලට ලබාදුන්නා. මේ රජය මගින් කිසිම ආකාරයකින් කිසිම කෙනෙකුට කොළඹ ඉඩමක් නොමිලේ ලබාදී නැහැ. මේ අලූත් සංවර්ධන රටාව සමහරුන්ට දිරවන්නේ නැහැ. පරණ දූෂණ සෙල්ලම පටන් ගන්නේ කොහොමද කියලා මාරාවේෂයෙන් බලාසිටිනවා. අප දියත් කර ඇති සංවර්ධනය තිරසර එකක්. එය ජනතාවට බලහත්කාරයෙන් දාන්නේ නැතිව, ජනතාවගේ කැමැත්ත ඇතිව සිදු කරන කි‍්‍රයාවලියක්’ බව ද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න