අනුරාධපුර නිවත්තක චේතිය මහා විදුහලේ විදුහල්පතිවරයා 2016 වසරේ දී අසාධාරණ ලෙස මාරුකර හැරීමෙන් සිදු වූ මූලික අයිතීන් කඩවීම වෙනුවෙන් එම විදුහල්පතිවරයාට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් සිය පෞද්ගලික මුදලින් ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට නියම කර තිබේ.
එසේම රජය විසින් පෙත්සම්කරුට රුපියල් 50,000 ක වන්දියක් ගෙවිය යුතු බව ද එම නියෝගයේ සඳහන්ව ඇත.
ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද (28) ලබා දුන් අතර අද සිට මාස දෙකක් ඇතුළත අදාළ ස්ථාන මාරුව අවලංගු කර එම විදුහල්පතිවරයා කලින් සේවය කල ස්ථානයේ සේවයේ පිහිටුවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන්ව ඇත.
පෙත්සම්කාර විදුහල්පති කරුණාරත්න බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ 2016 වසරේ සැප්තැම්බර් මස 09 වනදා තම පාසලේ පැවති මුල්ගල් තැබීමේ උත්සවයක් නිසි පරිදි විධිමත්ව සංවිධානය නොකළ බවට චෝදනා කරමින් ප්‍රධාන අමාත්‍යවරයා තම සේවය ස්ථාන මාරු කිරීමට කටයුතු කළ බවය.
ප්‍රධාන අමාත්‍යවරයාගේ එම තීන්දුවට එරෙහිව තමා අභියාචනයක් ඉදිරිපත් කළත් එය ද ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර විදුහල්පතිවරයා කියා සිටියි.
මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමා ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් අදාළ විදුහල්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
අදාළ පෙත්සම පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර සිටියේ අදාළ ස්ථාන මාරුව තුළින් උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පෙත්සම්කරුගේ මූලික අයිතීන් කඩ කර ඇති බවය.

