හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ කටයුතුවලට ඩොලර් මිලියන 7.6 ක් වියදම් කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානයේ උපදේශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.
ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර අදාළ කොමිසම කඩිනමින් පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
තමන් එක ඩොලරයක් හෝ හොරකම් කර තියෙනවා කියා ඔප්පු කළොත් ඔළුවට වෙඩි තියා ගන්න බවට හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවත් එක ඩොලරයක් වෙනුවට ඩොලර් මිලියන 7.6ක් අවභාවිතා කර තිබෙන බවට ලැබී ඇති තහවුරුව සම්බන්ධව ඔහු ගන්නා ක්‍රියාමාර්ගය ගැන විමසිය යුතුව ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
එසේම මෙම සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලන ලෙස විපක්ෂ නායකවරයාගෙන් , විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙන් ද ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කල අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ඇඟ කිළිපොලා යන එකක් බවත් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා එක්සිම් බැංකුවෙන් ගත් ඩොලර් මිලියන 307 ක මුදලින් යම් කොටසක් හිටපු ජනාධිපතිවරයා ලබාගත් බවට එම පුවත්පත හෙළි කර තිබෙන බවද මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
ඒ මුදල ඩොලර් මිලියන 7.5ක්. රුපියල් වලින් කෝටි 59ක්. එය ව්‍යාපෘතියට අදාල සමාගම වන චයිනා මර්චන්ට් සමාගම තම අනුගිණුමකින් ගෙවා තිබෙනවා. ජනාධිපතිවරණයේ දී සිල් රෙදි, සාරි , ඔරලෝසු , ටී ෂර්ට් , යට ඇඳුම් බෙදුවේ මේ සල්ලිවලින් විය හැකියි. රටම ණය උගුලක දමමින් මහින්ද රාජපක්ෂ මහතා වරාය හදන්න ගත්තු සල්ලි අවභාවිත කළා.
මහින්ද ගත්ත සල්ලි අවභාවිතයක් නොවන බව කියන්න පුළුවන්ද ?
එහෙමනම් අපි අහන්න කැමතියි එතුමා ගත් මුදල් අවභාවිතා නොකලා කියන්න පුළුවන්ද? රටම ණය කන්දක්. සියයට අටේ ගිනි පොලියට ගත් ණය යොදවලා මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය කරල තිබෙනවා. මේ වසරේ විතරක් ණය පියවීමට අපට රටක් ලෙස ඩොලර් මිලියන 14.8 ක් ගෙවන්න වෙලා තිබෙනවා. රටේ වාර්ෂික ආදායම කියද? ඩොලර් මිලියන 12.2යි. එහෙම නම් රටේ ආදායම මදි මේ ණය ගෙවන්න.
මහින්දගේ ගැහිල්ලේ බර ජනතාවට
මේ ආකාරයට ණය අරන් ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවට කන බොන සියලු දේවලින් බදු ගෙවමින් ගෙවන්න වෙලා තියෙනවා.
නිව්යෝක් ටයිම්ස් මේ හෙලිදරව්ව කරලා දින කිහිපයක් ගත වෙලා. හැම වෙලාවෙම රටේ තත්ත්වය ගැන වොයිස් කට් දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇයි නිහඬ කියා අපි අහන්න කැමතියි. පන්සලකට ගියත් පිංකමකට ගියත් රටේ ප්‍රශ්න ගැන කතාකරන එතුමා තවම එක වචනයක් වත් කියල නැහැ.
ඇයි ඒකාබද්ධ විපක්ෂය වත් පොහොට්ටුව හෝ ආර්ථික පර්යේෂණ ඒකකය හෝ අනාගතයේ දී මේ රට බාර අරන් ආර්ථික උපදේශකකම් කරන්න බලා ඉන්න අය හෝ මේ ගැන කතා කරන්නේ නැත්තේ? නාමල් රාජපක්ෂ මහත්තයා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තියෙනවා.
මේකෙ තවත් හෙළිදරව්වක් කරල තියෙනවා. ස්වාමින් වහන්සේ නමකට ජනාධිපතිවරණය ආසන්නයේ දී අවශ්‍ය කටයුතු කරගෙන යාමට ඩොලර් 38,000 ක් දීල තියෙනවා කියා එහි කියනවා. කවුද මේ. පන්සල්වලට වාහන දුන්නද එහෙම නැත්නම් වෙනත් වරදාන වරප්‍රසාද දුන්නද? චයිනා මර්චන්ට් සමාගමට අයත් ගිණුමකින් තමයි මේ මුදල් දීල තියෙන්නේ.මේවා බරපතල සැකයක් මතුවෙනවා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනි සෙනරත් මහතාට චෝදනාවක් එල්ල වුණා අරලිය ගහ මන්දිරයේ තිබුණු මුදල් වාහන වලින් රැගෙන ගියා කියලා.
ඒ මුදල් ගෙනයාමේ දී ගෝනිවල ගෙන ගියා කියා රියැදුරු කියා තිබෙනවා. එදා ඒ මුදල් සමඟ කාර්යමණ්ඩල ප්‍රධානියා චීන මුදලුත් ගෙන යන්න ඇති.
මේ සිදුවෙලා තියෙන අවභාවිතය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවාදයක් කරන්න ඕන. හැම දේටම විවාද ඉල්ලන ඒකාබද්ධ විපක්ෂයට අපි කියනවා විවාදයක් මේ ගැනත් ඉල්ලන්න කියලා.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ ඇත්තද නැත්තද කියල දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරුන්ටත් අනාගතයේ ජනාධිපතිවරු වෙන්න ඉන්න රාජපක්ෂවරුන්ටත් මඩ ගහන්න ගන්න උත්සාහයක් කියල කියන්න ඉඩ තියෙනවා. ඇමරිකාව කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කිව්වට ඇමරිකන් පුරවැසිභාවය තියෙද්දි ජනාධිපතිකම ඉල්ලනවා.
මේ රට සංවර්ධනය කරන්න ඕන කියල කියනවා නම් මේ ලංකාවේ අමාත්‍යංශයක ලේකම් ධුරයක් දරන්නේ නැතිව ඇමරිකවේ පුරවැසිකම තියාගෙන ඉන්නේ.
ඇමෙරිකාවට බනින ගමන් පුරවැසිකම තියන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන් ගෙන් ඉල්ලනවා මේ ගැන විවාදයක් ඉල්ලන්න කියලා. ඒකට ඇවිත් උත්තර දෙන්න කියා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ආර්ථික මහාචාර්යවරු , ආර්ථික පර්යේෂක බන්දුල ගුණවර්ධන ශූරින්ට, අජිත් නිවාඞ් කබ්රාල්ට පුළුවන් විය යුතුයි.
මේ මුදල්වලින් මොනවද කළේ? හාමුදුරුවරුන්ට හෝ වෙනත් අයට හෝ අල්ලස් ලෙස මොනවද දුන්නේ කියා හෙළි කළ යුතුයි. ඡන්ද දායකයන්ට අල්ලස් දුන්නද? මේවා ජනතාව දැනගත යුතුයි. ‘‘

