ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව අනුගමනය කළ ක්‍රමවේදය නිවැරදිද නැද්ද යන්න පිළිබඳව දෙපාර්ශවයේ දේශනා අසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන සතිය ඇතුළත තීරණයක් ලබාදෙනු ඇතැයි නීතීඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා පැවසූ බව රාවය වාර්තා කරයි.
ගිවිසුම සම්පුර්ණයෙන් අවලංගු කිරීම තම අරමුණ නොවන බවත් ශ්‍රී ලංකාවට අවාසිදායක වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කල යුතු යැයි තම සංගමය ඇතුළු අනෙකුත් නඩු පැවරූ වෘත්තිකයන්ගේ අදහස බවත් ඔහු පැවසු බව රාවය පුවතේ සඳහන්ය.
එහි මෙසේද සඳහන්ව ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට දැනුම්දුන් පසුව ඒ අනුව රජය ගිවිසුමේ අදාළ වගන්ති වෙනස්කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සම්මත කරගත යුතු බවත් මෙය පනතක් නොව ගිවිසුමක් බවත් නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
තමා විසින් මේ සම්බන්ධව ගොනුකළ නඩුවේ නීතිමය තර්කය වන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව රාජ්‍ය මුල්‍ය සම්බන්ධව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන නිසා සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව බදු වෙනස් කල නොහැකි නිසාත්, ගිවිසුම ක්‍රියාත්මක කල ආකාරය නීත්‍යානුකුල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එසේම මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව දේශීය ව්‍යාපාරිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට සම්මත කරගත් ප්‍රපාතනය පිළිබඳ පනත (anti -dumping ) සහ ප්‍රතිතෝලන පනත (countervailing ) මගින් එවැනි ආරක්ෂාවක් නොලැබෙන බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ගිවිසුමට අදාලව බදු වර්ග කිහිපයක් අඩංගු වන නිසාත්, බදු නිදහස් කිරීම ආදී නීති ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබිය යුතු අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය පමණක් ලැබීම සැලකිය යුතු ගැටළුවක් බවත් මේ සම්බන්ධව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයක් කිරීමට බලාපොරොත්තු වන බවත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කළේය.
මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ප්‍රමාණවත් වූ අතර බලාත්මක කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් සහ ප්‍රපාතන හා ප්‍රතිතෝලන පනත් සම්මත කරගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිංගප්පුරුවට මේ බව දැන්වීමෙන් මැයි 01 වැනි දින සිට ගිවිසුම බලාත්මක වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහීලනය සඳහා ගිවිසුමේ පිටපත් පාර්ලිමේන්තුවට ලබා දුන් බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන රාවයට පැවසීය.
(රාවය )

