Language Switcher

V2025

දකුණේ ජාතිවාදයට පෝර දැම්මට විජයකලාට උපරිම දඬුවම් දෙන්න - මනුෂ 

උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවටද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් ජාතිවාදයට උඩගෙඩි ලබාදෙන විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට විරුද්ධ ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

විජයකලා‌ මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇති අතර දැන් යුද්ධය අවසන්ව සාමකාමී වාතාවරණයක රට පවතින බවත් ඒ පසුබිමේ  එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි තහනම් සංවිධානයකට උඩ ගෙඩි ලබාදීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු‌ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව  දිවුරුම් දෙන අයෙක්ට බෙදුම්වාදයට කිසිදු ආකාරයකින් සහාය ලබාදෙන්න බැහැ. එය බරපතල වරදක්. මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයෙක් නෙමෙයි සාමාන්‍ය  පුද්ගලයෙක් වුවත් බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට සහාය ලබාදෙනවා නම් එයට විරුද්ධව  ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතුයි. ඔවුන්ට ලබාදිය යුතු උපරිම දඩුවම් ලබාදෙනවා.

විජයකලා මහේෂ්වරන් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතු බව  එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් හිස ඔසවනු දැකීමට කිසිදු අයෙක්ට අවශ්‍යතාවයක් නෑ. මේ රටේ ඉන්න සිංහල ජනතාවට, දෙමළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට ඒවැනි තත්වයක් ඇතිකරගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. උතුරේ සිටින දෙමළ ජනතාවට හෝ දකුණේ සිටින සිංහල ජනතාවට යළිත් යුද්ධයක් අවශ්‍ය වෙන්නේ නෑ. එහෙත් යුද්ධයක් අවශ්‍ය කණ්ඩායම් දෙකක් මේ රටේ ඉන්නවායුද්ධයක් ඇතිකරගෙන ඒ හරහා දේශපාලන වාසි ලබාගන්නා කණ්ඩායම් දෙකක් සිටිනවා.  ඒ තමයි උතුරේ සිටින දෙමළ අන්තවාදී ජාතිවාදී කණ්ඩායම. අනෙක් කණ්ඩායම තමයි දකුණේ සිටින අන්ත ජාතිවාදී කණ්ඩායම. මේ ජාතිවාදී කණ්ඩායම් දෙකටම යුද්ධය අවශ්‍යයි.

අද විජයකලා‌‌ගේ ප්‍රකාශය දකුණේ ජාතිවාදයට පෝර දැම්මා. මේ ව‌ගේ ජාතිවාදයට උඩගෙඩි දෙන අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු නොකළොත් අපිට රටක් ඉදිරියට ගෙනයාමට හැකියාවක් ලැබෙන්නේ නෑ.