රාජපක්ෂලාගේ මාධ්‍ය තර්ජන ජනමාධ්‍ය ඇමති හෙළාදකියි !

රාජපක්ෂලාගේ මාධ්‍ය තර්ජන ජනමාධ්‍ය ඇමති හෙළාදකියි !

නිව්යෝර්ක්  ටයිම්ස් පුවත්පතේ වාර්තාවට තොරතුරු සැපයීමට දායකවූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් බියගැන්වීම හා අපහාස කිරීම තමා හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර අදාළ  තොරතුරු සැපයූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට චෝදනා එල්ල කිරීම පිළිබඳව තමන් පුදුම වන බවත් එහි සඳහන් කර ඇත.

එසේම අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් චෝදනා පිළිබඳව අදාළ බලධාරීන් විසින් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් පොදු විපක්ෂය හා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් එම මාධ්‍යවේදීන්ගේ වැඩකටයුතුවලට බාධා කිරීම හෙළාදකින අතර එවැනි  බාධා කිරීම් වහාම නැවැත්විය යුතුව ඇති බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවද මාධ්‍යවේදීන්ට  බාධාකිරීම් වල සම්පූර්ණ වගකීම පොදුජන පෙරමුණේ නායකත්වය භාරගත යුතු අතර එවැනි දේ නැවත නොවීමට වගබලා ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

වත්මන්  රජය බලයට පත්වුයේ  මාධ්‍ය නිදහස ලබාදෙන බවට වන  පොරොන්දුව සමඟ බව සිහිපත් කරන අමාත්‍යවරයා  වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් මරා දැමීම, පහරදීම හා මාධ්‍ය ආයතනවලට පහරදීම සිදුකළේ  මහින්ද රාජපක්ෂගේ අඳුරු යුගය තුළ බවද අමාත්‍යවරයා සිය නිවේදනයේ දක්වා ඇත.

සත්‍ය හෙළිකිරීමට ගිය පුද්ගලයින්ට මෙවැනි දේ සිදුකර අඳුරු යුගයකට නැවත යාමට ඉඩ නොතබන බවත් සියලු ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ වෘත්තිය නිදහසේ කරගෙන යාමට සුදුසු වටපිටාව රැකගැනීමට රජය කටයුතු කරන අතර  ඒ තුළින් දැඩි විවේචන ඉවසා ගැනීමට රජයට සිදුවුවත් රජය   එම ප්‍රතිපත්තිය රකින බවට නැවත අවධාරණය කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න