Language Switcher

V2025

තවත් චීන සමාගමක් බැසිල්ගේ පවුලටත් සල්ලි දීලා !

කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගමක් වූ CICT සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් පවත්වාගෙන යන පදනමකට රුපියල් එක්කෝටි අනූ හතර ලක්ෂයක් පමණ මුදලක් ආධාර මුදලක් වශයෙන් බැර කරගෙන තිබේ. (19,410,000) එහෙත් එම සමාගම එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග නොකළ බවත් දකුණු වරාය සංවර්ධන කිරීම සඳහා දරන ලද වියදමක් ලෙස ගිණුම් ගත කර තිබෙන බවත් වාර්තා වේ.

මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධාන අරමුදලට දකුණු වරාය සංවර්ධන කටයුතු බාරගත් චීන සමාගම වූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම විසින් වරාය සංවර්ධන වියදම්වලට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය 2016 මාර්තු 01 වැනිදින POS/A/SLPA/2016/4 යටතේ විමසා තිබේ.

දකුණු වරාය පර්යන්ත බහාලුම් මෙහෙයුම් සංවර්ධන කටයුතු සඳහා වසර 35කින් ආපසු ගෙවීමේ පදනම මත CICT සමාගම 2013 ජූලි 13 වැනි දින මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

එම මෙහෙයුම් අතර 2012 මැයි 21 දින පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට රුපියල් මිලියන 19,49410 මුදලක් ගෙවීම් කර තිබේ.

CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා තිබේ. මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204 - 1 - 001 - 0003290ට එම මුදල බැරවීම සඳහා ලබාදී තිබේ.

එසේ මුදල් එම ගිණුමට බැර කර ඇති බවද රාජ්‍ය විගණනය මගින් තහවුරු කරගෙන ඇත.

වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.

එහෙත් වරාය අධිකාරියේ කිසිදු ඉල්ලීමක් මත මෙම මුදල් අදාළ සමාගම විසින් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී ඇති බවත් එම සමාගම සහ වරාය අධිකාරිය අතර වූ සංවර්ධන ගිවිසුම අතරට පැමිණි අතරමැදියකු විසින් එතරම් විශාල මුදලක් එම සංවිධානයට ලබාදී ඇති බවත් කියැවේ.
මෙහිදී මෙරට මෙතරම් ස්වේච්ඡා සංවිධාන විශාල ප්‍රමාණයක් තිබියදී මෙම සංවිධානයට මෙතරම් මුදලක් බැර කර ඇත්තේ කුමන අරමුණක් සඳහාද යන්න විගණනය සිය විගණන විමසුමෙන් විමසා ඇත.

එපමණක් නොව වසර 35කට පසු CICT සමාගම සිය කොන්ත්‍රාත්තුව සම්බන්ධව ඇති එහි 62/8 වගන්තිය ප්‍රකාරව සහ අනුවගන්ති ප්‍රකාරව එම ගිවිසුම කල්පිරී අවසන් වූ පසු CICT වංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයෙහි වැය කළ මුදල්වල පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතු මුදල්වලට එකතු කර මෙම මුදලද ආපසු එම සමාගමට රජය හෙවත් වරාය අධිකාරිය විසින් ගෙවිය යුතු වෙයි.

එම නිසා දකුණු වරාය සංවර්ධන කටයුතුවල වියදමට එකතු කරමින් මෙතරම් විශාල මුදලක් මෙම චීන සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට ලබාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් බවද විගණනය පෙන්වා දී ඇත.

විජයානි එදිරිසිංහ - දිනමිණ