22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්විය යුත්තේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස වෙනස් කළ සංශෝධනයක් ලෙස ද... නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය අනාගතය වෙනස් කළ සංශෝධනයක් ලෙස ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු සාමාන්‍ය නීතියක් නොවේ. එය රාජ්‍යයේ ව්‍යුහය නිර්මාණය කරයි. බලය බෙදා හරියි. පුරවැසියන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි. රටක අනාගතයට දිශානතිය සපයයි. එබැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යනු පරිපාලනමය පහසුවක් සඳහා නොව, රටේ දිගුකාලීන ව්‍යවස්ථාමය ගමන්මඟ තීරණය කරන කරුණු සඳහා විය යුතු ය.
අද යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ ඊට අදාළ අධිකරණ ප්‍රතිසංස්කරණ කිහිපයක් වෙත ය.
ඊට පක්ෂව සිටින අය පවසන්නේ පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීමෙන් අධිකරණ පද්ධතිය ශක්තිමත් වන අතර, නඩු ප්‍රමාදය අවම කිරීමට ද එය උපකාරී වන බවයි.
විරෝධී මතය වන්නේ, මෙවැනි කරුණු ව්‍යවස්ථා සංශෝධනයකින් නොව, සාමාන්‍ය නීති හෝ පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ හරහා විසඳිය යුතු බවත්, මෙය වත්මන් නිලධාරීන්ට ප්‍රතිලාභ සැලසීමක් ලෙස පෙනී යා හැකි බවත් ය.
මෙම මත දෙකටම සාධාරණ පදනමක් ඇත; එහෙත්, ඊට වඩා විශාල ප්‍රශ්නයක් අප ඉදිරියේ තිබේ.
22 වන සංශෝධනය ඉතිහාසයට එක්විය යුත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කළ සංශෝධනයක් ලෙස ද... නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය අනාගතය වෙනස් කළ සංශෝධනයක් ලෙසද?
අපගේ ව්‍යවස්ථා ඉතිහාසයේ මතකයේ රැඳී ඇත්තේ පරිපාලනමය සංශෝධන නොවේ. ඒවා බල තුලනය වෙනස් කළ සංශෝධන යි. රාජ්‍ය ආයතන අතර සබඳතාව නැවත අර්ථකථනය කළ සංශෝධන යි. රාජ්‍යය සහ ජනතාව අතර ඇති සම්බන්ධතාව වෙනස් කළ සංශෝධන යි. ඒවා මතකයේ රැඳී ඇත්තේ ඒවා රටේ ව්‍යවස්ථාමය දිශානතිය වෙනස් කළ නිසා ය. එසේ නම්, 22 වන සංශෝධනය තවත් එක් අධිකරණ සංශෝධනයක් පමණක් විය යුතු ද? නැත්නම්, එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය අනාගතය පිළිබඳ ජාතික සංවාදයක ආරම්භය විය යුතු ද?
තවද, දශක පහකට ආසන්න කාලයක් පුරා සිදුකළ සංශෝධනවලින් පසු, තවත් සංශෝධනයක් නොව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පදනමක් පිළිබඳ සිතීමට කාලය පැමිණ තිබේ ද යන්න පිළිබඳ සංවාදයක්.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැදගත් කරුණකි. නමුත් ඉතිහාසය ව්‍යවස්ථා සංශෝධන මතක තබා ගන්නේ ඒවා පරිපාලනමය වෙනස්කම් කළ නිසා නොවේ. රටක අනාගතය වෙනස් කළ නිසා ය. දැන් රජයට සැබෑ "ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී" තත්ත්වය මතුවී තිබේ. හාස්‍යට කරුණක් වන්නේ මෙම තත්වය ඉංග්‍රීසි භාෂාවෙන් Catch 22 ලෙස හැඳින්වීමයි.
• ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව තීරණය කළහොත්, විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස සංශෝධනයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වැය කිරීම සාධාරණ ද?
• එවැනි ජනමත විචාරණයක දී ජනතාව එය ප්‍රතික්ෂේප කළහොත්, එහි දේශපාලනික හා ආර්ථික පිරිවැය භාර ගන්නේ කවුද?
• රජයට සංශෝධනය ඉල්ලා අස්කර ගැනීමට සිදුවුවහොත්, එය රජයේ ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වයට බලපාන්නේ කෙසේ ද?
• නැත්නම්, එවැනි අවදානමක් ඇති කරගැනීම වෙනුවට, රජය තවත් පුළුල් හා දිගුකාලීන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයක් සඳහා එම දේශපාලන ප්‍රාග්ධනය යෙදවිය යුතු ද?
ප්‍රශ්නය 22 වන සංශෝධනයෙන් වෙනස් වන්නේ කුමක්ද යන්න නොවේ; ප්‍රශ්නය, එය ආරම්භ කරන්නේ කුමන අනාගතයක් ද යන්න යි
pdf පිටපත මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
