Image

"බදු ගිවිසුම අත්සන් කළේ මාව රවටලා" - මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැවසූ කතාව අධිකරණයට හෙළි වෙයි

"බදු ගිවිසුම අත්සන් කළේ මාව රවටලා" - මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැවසූ කතාව අධිකරණයට හෙළි වෙයි

හිටපු ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන නොමඟ යවමින් සහ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව බදු ගිවිසුමක් අත්සන් කර රජයට රුපියල් ලක්ෂ 38 ක මුදලක් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති, නීතිඥ ලලිත් පියුම් පෙරේරා විසින් පාඩු කර ඇතැයි අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම ඊයේ (28) අධිකරණයට දන්වා සිටියාය.

අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිඥවරිය මෙලෙස දන්වා සිටියාය.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සහකාර අධ්‍යක්ෂකවරිය මෙලෙස කරුණු දැක්වූවාය.

"රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව අම්පාර සාම්පූර්හි පිහිටි ඉඩමක් 2014 වසරේ ජනවාරි මාසයේ බදු ගිවිසුමක් අත්සන් කර රුපියල් ලක්ෂ 38 ක මුදලක් අම්පාර ආසන සංවිධායක ශාන්ත ප්‍රේමරත්න මහතාගේ බැංකු ගිණුමකට බැර කිරීමට සැකකරු කටයුතු කර තිබෙනවා. අදාළ ඉඩම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බදු පදනම මත ලබාගෙන ඇති බවට සඳහන් කරමින් අතුරු බදු ගිවිසුමක් අත්සන් කර මෙම මුදල් බැර කර ඇති බවත්, එම බදු ගිවිසුමෙන් පසුව අදාළ ගොඩනැගිලි සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ 18 ක මුදලක් යොදවා තිබෙනවා."

"මෙම ඉඩම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බදු ගිවිසුමක් මත ලබාගෙන තිබූ ඉඩමක් බවට කිසිදු ලේඛනයක් හෝ සාක්ෂියක් නැහැ. එසේ තිබියදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අතුරු බදු ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ බදු ගිවිසුමේ පළමුවැනි පාර්ශ්වය ලෙස අත්සන් කරලා තිබෙන්නේ ජාතික තරුණ සේවා සභාවයි. දෙවැනි පාර්ශ්වය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසක් අත්සන් කරලා තිබෙනවා. තුන්වැනි පාර්ශ්වය අම්පාර දිස්ත්‍රික් තරුණ සේවා සභාව ලෙස නම් කරලා තිබෙනවා. නමුත් මෙම ඉඩමට පළමු බදු ගිවිසුමක් තිබුණා කියලා කිසිදු ලේඛනයක්, සාක්ෂියක් හෝ වෙනත් පිළිගත හැකි යමක් නැහැ."

"මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඔහු සඳහන් කර සිටියේ ඔහුව රවටා මෙම බදු ගිවිසුම අත්සන් කර ඇති බවය. බදු ගිවිසුම සම්බන්ධයෙන් තමන් කිසිත් නොදන්නා බවත්, නියමිත පරිදි බදු ගිවිසුමක් අත්සන් කළ බවට විශ්වාස කරමින් අදාළ ලේඛනවල අත්සන් කර ඇති බවත් ඔහු පවසා තිබෙනවා."

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටි අතර, සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස  අධිකරණයට කරුණු දක්වමින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥවරයා මෙලෙසද කරුණු දැක්වීය:

"මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන කටයුතු කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහායි. ඔවුන් තමයි අදාළ ඉඩම තමන්ට අවශ්‍ය බවට ප්‍රධාන කාර්යාලයට ලිපියක් යොමු කරලා තිබුණේ. පළමු බදු ගිවිසුමේ ලේඛන ඉල්ලා මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ නඩුවට බලපෑම් කරන්න මට කිසිදු හේතුවක් නැහැ. ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා" යැයිද නීතිඥවරයා සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් සහ විදෙස් ගමන් තහනමක් නියම කරමින්, විමර්ශන ප්‍රගතිය ජනවාරි 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න