සිය මවට ප්රතිකාර ගැනීම වෙනුවෙන් කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ගෙවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවා වංචා කරන ලදැයි කියන දුවක ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී අබේවික්රම ඊයේ (29) නියම කළාය.
සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකාරිය රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්රාත්වරිය නියම කළාය. මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නාවල ප්රදේශයේ පදිංචි එන්. එෆ්. රාජකරුණා යන අයයි.
නඩුවට මුල් වූ චෝදනා සහ මුදල් ගනුදෙනු
2026 අගෝස්තු 27 වැනිදාත් ඔක්තෝම්බර් 11 වැනිදාත් අතර කාලයේ කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 114 දරන ස්ථානයේ පිහිටි ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් ලබා ගන්නා ලද වෛද්ය සහ රෝහල් සේවා සඳහා ගෙවිය යුතු රුපියල් 2,24,06,313/-ක සමස්ත මුදලින් රුපියල් 1,06,06,313/-ක මුදලක් ගෙවීම පැහැර හැර වංචනික ලෙස අයථා පරිහරණය කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ විත්තිකාරියට එරෙහිව නඩු පවරා ඇත.
කෙසේවෙතත්, අදාළ බිල්පත් මුදලින් විත්තිකාරිය රුපියල් 1,18,00,000/-ක මුදලක් ගෙවා ඇති බවත් ඇයට රුපියල් ලක්ෂ 10ක මුදලක් වට්ටම් වශයෙන් දී ඇති බවත් චෝදනා පත්රයේ සඳහන් කර ඇත.
අධිකරණයෙන් නිකුත් කර තිබූ සිතාසියකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.
මූලික විරෝධතා සහ මීළඟ නඩු දිනය
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ කරුණු දක්වමින් පැවසුවේ, පෞද්ගලික පැමිණිල්ලකදී සම්පූර්ණ කළ යුතු කරුණු තම සේවාදායිකාවට එරෙහිව පවරා ඇති මෙම නඩුවේදී සම්පූර්ණ කර නොමැතිව නඩුව ඉදිරිපත් කර ඇති හෙයින් මූලික විරෝධතාවක් මතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක කරුණු දක්වමින් විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන බව කියන මූලික විරෝධතාවයට පිළිතුරු දීමට තමන් අපේක්ෂා කරන බවයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශ්වයට නියම කළ මහෙස්ත්රාත්වරිය නඩුව දෙසැම්බර් 17 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.
මෘත දේහය භාරදීම සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය
මෙම නඩුවට පාදක වූ රාජගිරිය, නාවල පදිංචිව සිටි ලීලානි සුනේත්රා මහත්මිය දින දෙකකට පෙර කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබිණි. තම මවගේ මෘත දේහය අවසන් කටයුතු සඳහා භාරනොදී රෝහලේ තබාගෙන සිටින බව පවසමින් මියගිය කාන්තාවගේ දියණිය මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මීට පෙර අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබුණි.
ඒ අනුව, මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වහාම පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය දියණියට භාරදෙන ලෙස මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත් ප්රේමලාල් අතුකෝරල මහතා කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරියාට නියම කර තිබුණි.
මියගිය කාන්තාවගේ දියණිය මරදාන පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ අධිකරණයට දැනුම් දුන් මරදාන පොලිසියේ කොස්තාපල් ප්රසන්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්රාත්වරයා මියගිය කාන්තාවගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියේ ලකුණක් තැබූ ස්ථානයක භූමිදානය කිරීමටද නියම කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
