ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනුග්‍රාහකත්වය ලබාදුන්නේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ජාලය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලෝකයට හඳුන්වාදීමේ අරමුණින් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
MTV ආයතනයට සංවිධාන අයිතිය හිමි වූ අයුරු
2024 වසරේ තුර්කියේ පැවති ABU මහා සභා රැස්වීමේදී 2026 වසරේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබූ අතර, එය මෙරට පැවැත්වීමේ නිල අයිතිය MTV ආයතනයට හිමිව තිබිණි. රජය විසින් එම ආයතනය තෝරාගත් තීරණයක් නොවන බවත්, එම අවස්ථාව රටේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් උපයෝගී කරගත් බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක සහභාගීත්වය
රටවල් 66ක මාධ්‍ය ආයතන 225ක් පමණ සාමාජිකත්වය දරන ABU සංගමයේ සමුළුවට නියෝජිතයන් 350කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ජපානයේ NHK, ඔස්ට්‍රේලියාවේ ABC, චීනයේ China Media Group, දකුණු කොරියාවේ KBS, ඉන්දියාවේ Prasar Bharati, සිංගප්පූරුවේ Mediacorp සහ තුර්කියේ TRT ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක් ඊට එක්විය.
ශ්‍රී ලාංකේය සංචාරක ස්ථාන ලොව පුරා විකාශය කෙරේ
සමුළුවට සමගාමීව පැවති වැඩමුළු සහ අනෙකුත් වැඩසටහන් අතරතුර ගාල්ල, බෙන්තොට, සීගිරිය, අනුරාධපුරය, මහනුවර, නාගදීපය සහ ත්‍රිකුණාමලයේ කෝවිල ඇතුළු ස්ථාන පිළිබඳ වීඩියෝ හා වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කර තිබේ. එම වැඩසටහන් සහභාගී වූ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හරහා ලොව පුරා විකාශය කිරීමට අවස්ථාව සැලසුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉදිරියේදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමඟ එකඟතාවන්ට පැමිණ තිබේ.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික වැඩසටහන් සඳහාත් රජයේ සහය
රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකෙහිම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රජය අනුග්‍රාහකත්වය ලබාදෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දෙරණ මාධ්‍ය ජාලයේ ජාත්‍යන්තර සරුංගල් ප්‍රදර්ශනය, ITN සහ ජාතික රූපවාහිනියේ වැඩසටහන් මෙන්ම ප්‍රංශ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගේ සහ ජාත්‍යන්තර කාර්‍යමණ්ඩල සාමාජිකයන් 55 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙරට පැවැත්වෙන Raid Amazones ඉසව්වද ඒ සඳහා උදාහරණ ලෙස සඳහන් කළේය.
නීත්‍යානුකූල සහ නිවැරදි ක්‍රමවේදයට අනුග්‍රහය දැක්වීම
ABU සමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නියමිත ක්‍රමවේදය අනුගමනය කළ බවද අමාත්‍යවරයා පැවසුවේය.
“ඒ නිසා මේ ABU 63 වෙනි සමුළුවට අපි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනුග්‍රාහකත්වය දැක්වූයේ රටේ සංචාරක ප්‍රවර්ධනයේ ප්‍රගතිය වෙනුවෙන්. ඉතින් ඒක සද්භාවයෙන් කරපු දෙයක්. ඉතා පැහැදිලිව නීත්‍යානුකූලව, නිවැරදි ක්‍රමවේදයට අපි ඒ දේ කරලා තියෙන්නේ,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
