පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබුණත් රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුගේ විරෝධය හේතුවෙන් එය අසාර්ථක වන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලැබීම හේතුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමට විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් තීරණය කර තිබිණ.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට රාජපක්ෂ පවුලේ ප්‍රබලයාගේ අදහස වී ඇත්තේ විපක්ෂනායක ධුරය රාජපක්ෂ පවුලෙන් පරිභාහිර පුද්ගලයකුට ලබාදීම වැරදි පුර්වාදර්ශයක් විය හැකි බවත් එය ජනාධිපති අපේක්ෂකත්වය දක්වා වූ යෝජනාවක් බවට ඇදීයාමේ අවධානමක් මතුකරන්නක් විය හැකි බවත්ය.
එමෙන්ම මේ වන විටත් රාජපක්ෂ පවුල හරහා ගොඩනැගී ඇති ව්‍යාපාරය හදිසියේ තනතුරු අත්පත්කර ගැනීමට ගොස් අවධානමේ නොදැමිය යුතු බවත් විපක්ෂනායක ධුරය කෙසේහෝ ලබාගත්තත් එය ඒකාබද්ධ විපක්ෂයේ සිටින කුඩා පක්ෂයක නායකයකු අනවශ්‍ය ලෙස ඉස්මතුවීමක් හැර ජාතික වැදගත්කමක් ලැබෙන දෙයක් නොවන බව රාජපක්ෂ පවුලේ ප්‍රබලයාගේ අදහස වී ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වුවත් රාජපක්ෂ පවුලේ ප්‍රබලයාගේ විරෝධය සම්බන්ධව ඔහු සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් සුදානමින් සිටින බවද එම පාර්ශවයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.