ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට ප්‍රචාරය කරමින් සිටි 'මවුබිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න හදිසියේ සිය ප්‍රචාරය අත්හිටුවීමට හේතුවූයේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයකුගේ බැන තර්ජනය කිරීමක් බව වාර්තා වෙයි.
මේ බව තහවුරු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ ප්‍රචාරක කටයුත්තේදී අජිත් ප්‍රසන්න සිය සීමාව ඉක්මවා කටයුතු කර ඇති බැවින් ඒ පිළිබඳ සිහිකැඳවීමක් සිදුකිරීමට රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු මැදිහත්වී ඇත.
එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එහිදී බැන තර්ජනය කිරීමක් සිදුනොවූ බවත් පොදුජන පෙරමුණට සම්බන්ධව ක්‍රියාකාරීව සිටින හිටපු අමාත්‍යවරුන්ට ප්‍රසිද්ධියේ දුෂණ චෝදනා නගන්න පමණක් නොව පමණක් නොව හිටපු ජනාධිපතිවරයා ඊළඟ මැතිවරණයට ඉදිරිපත්වූවත් ඒ සමඟ ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ජන්දය ගෝඨාභය ට ලබාදෙන බව කියන්න තරම් දුරදිග අජිත් ප්‍රසන්න දුරදිගයාම වැළක්වීමට පමණක් කටයුතු යෙදුන බවය.
කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙස අවස්ථා කිහිපයකදී පොදුජන පෙරමුණ විසින් අජිත් ප්‍රසන්න දැනුවත්කොට තිබේ. එහෙත් ඔහු ඒ පිළිනොගෙන සඳහන් කර ඇත්තේ තමන් කැමති අපේක්ෂකයා යෝජනා කිරීමට තමන්ට අයිතියක් තිබිය යුතු බවය. එසේම තමන් මෙම කටයුතු සිදුකරන්නේ ගෝඨාභය මහතාගේ අනුදැනුමෙන් බවත් එහෙයින් ඔහු සඳහන් කරන තුරු කවුරු කීවද තම කටයුතු නවත්වන්නේ නැති බව අජිත් ප්‍රසන්න සඳහන් කර ඇත.
රාජපක්ෂ පවුලේ ප්‍රබලයා මෙම ප්‍රශ්නය සඳහා මැදිහත්ව ඇත්තේද ඒ නිසාය. ඒ අනුව දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඔහු අජිත් ප්‍රසන්නට බැන තර්ජනය කර ඇත. එමෙන්ම මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ වරද නිවැරදි කරන ලෙසද එහිදී දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.
තවද කොහෙවත් යන බොරු රණවිරු කතා හේතුවෙන් මේ වන විටත් තම පාර්ශවය බරපතල අර්බුදයකට මුහුණදී සිටින බවත් ජන්ද සියයක් ගන්න බැරි බොරු ෂෝ කාටයන් වෙනුවට හිටපු අමාත්‍යවරුන් තමන්ට වටින බවත් දන්වා ඇති අතර කියන විදිහට ඉන්න බැරි නම් සිදුවන දේ අලුතින් නොකියන බවද රාජපක්ෂ ප්‍රබලයා පවසා ඇති බවද වාර්තා වෙයි.
මෙහිදී අජිත් ප්‍රසන්න මේ පිළිබඳ බලවත් කණගාටුවෙන් තම හිතවතුන් කිහිපදෙනෙකුට පවසා ඇති අතර තමන් අදාළ සිදුවීම ගැන ගෝඨාභය මහතා දැනුවත් කළත් "ගණන් ගන්න එපා ප්‍රසන්න, බැන්නා විතරයිනේ" කියූ බවද අජිත් ප්‍රසන්න පවසා ඇත.

