Language Switcher

V2025

බැසිල් කනස්සල්ලෙන් රට යයි !

ඒකාබද්ධයේ ඇතැමුන්ගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පාලනය කරගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) මහ මොලකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

වාර්තා වන ආකාරයට පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් නොකරන ලෙස එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දැනුම්දී ඇත. එහෙත් දිගින් දිගටම ඔවුන් එම නියෝගයට පිටුපාමින් කටයුතු කරමින් සිටියි.

සේරම පිටිපස්සේ ගෝඨාභය ඉන්නවා : අජිත් ප්‍රසන්නයා දාලා මට ගහනවා - බැසිල් 

මෙහිදී එක් අවස්ථාවක බැසිල් රාජපක්ෂ සෘජුවම දුරකථනයෙන් කථාකොට ගෝඨාභය රාජපක්ෂගේ නිල නොලත් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බැනවැදී ඇති නමුත් ඔහු ඊට පසුදින නැවත බැසිල් රාජපක්ෂටද අභියෝග කර ඇත.

එහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් ප්‍රසන්න සඳහන්කර සිටියේ,
"මේ වෙලාවේ මහා ලොකු කතාවක් තියෙනවා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා. මේ සඳහා නම් දෙකක් සඳහන් කරලා දෙන්න පාක්ෂිකයන්ට කැමැත්ත තෝරන්න කියලා ඒක හොඳයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එකකෙනෙක් නම් අනිත් පැත්තේ බැසිල් රාජපක්ෂ මහත්තයා නම් ගෝඨාභයට ද බැසිල්ද ඕනේ කියලා තරඟයක් තියමු. එතකොට ප්‍රතිශතයත් එක්ක බලන්න පුළුවන්. විමලවීර දිසානයක මන්ත්‍රීතුමා කියනවා අපිට එපා ගෝඨාභය අපි කැමති බැසිල්ට. ඉතින් හොඳයිනේ මේ ප්‍රජාතන්ත්‍රවාදය. ගෝඨාද? බැසිල්ද? ගෝඨාද? බැසිල්ද?" යනුවෙනි.

එසේම මෙහිදී අජිත් ප්‍රසන්න විසින් රාජපක්ෂ රෙජීම පාලන සමයේ හමුදාවේ පළිගැනීම් සිදුකළ බවටද අනාවරණය කර සිටියේය.

"කවුද හමුදාපති ලුතිනන් මහේෂ් සේනානායක කවුද ඔහු පසුගිය ආණ්ඩුව කාලේ සරත් ෆොන්සේකට දේශපාලන වශයෙන් උදවු කරා හමුදාවේ ඉන්දැද්දිම කියලා පසුගිය ආණ්ඩුවෙන් බලෙන් විශ්‍රාම යවපු කෙනෙක්. සරත් ෆොන්සේකා මහත්තයා ඔහුව කැඳවන්නේ මේ ආණ්ඩුව පෙරලුනාට පස්සේ. උදාහරණයක් වශයෙන් බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන කියන නිලධාරියා 112 බ්‍රිගේඩ් එකේ සරත් ෆොන්සේකා මහත්තයාගේ වෙනම ටීම් එකක් හිටියා ඒ ටීම් එකට නායකත්වය දෙන්නේ බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන කියලා ඔහුවත් ඉවත් කරලා තිබුණේ. හැබැයි අද ඔහු මේජර් ජෙනරල් වෙලා ඉහළ නිලධාරියෙක්."

පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ පසුබිමේ බැසිල් රාජපක්ෂ තම පාර්ශවය කැඳවා පටන්ගත් ගමන දැන් වෙනතක යන බවය. එහිදී විශ්‍රාමික හමුදාකාරයන් යොදවා මේ විකාර කරන්නේ කවුද යන්න පැහැදිළි බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

ඒ අනුව කෙටි නිවාඩුවකට ලබන මස මුලදී ඇමරිකාව බලා යාමට බලාපොරොත්තුව සිටි බැසිල් රාජපක්ෂ මහතා මෙම කලකිරීම් තත්ත්වය තුළ මාස තුනකට වැඩි කාලයක් එරට රැඳී සිටීමට තීරණය කර ඇතැයි ද පැවසේ.

පෙබරවාරි 10 ඉඳලා පොහොට්ටුව වැටෙනවා - කෙහෙළිය 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලද පවසා ඇත.

කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මේ බව  සඳහන් කර සිටියේ එම පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රීක් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.

සභාපතිවරු, උප සභාපතිවරු පත් කිරීමේදීත් ලයිස්තුවෙන් මන්ත්‍රී ධුර නම් කරද්දීත් ප්‍රශ්න ඇතිවූ බවත් මන්ත්‍රීවරයා එහිදී කීය.  ආණ්ඩුවේ ගම්පෙරලිය ව්‍යාපෘතිය නිසා තම පක්ෂයේ ගම් මට්ටමේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ද ඔහු කියා සිටියේය.