Language Switcher

V2025

රාජපක්ෂලාගේ කෝටි 1250ක චෙක්පත් ගැන අධිකරණ නියෝගයක් !

ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන අය ඇතුළු නිලධාරීන් කීපදෙනකු බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් හා තවත් පුද්ගලයන් කිහිපදෙනකු භාරයට පත් කිරීමේ සිද්ධියට අදාළව බැංකු ගිණුම් වාර්තා වහා ලබා දෙන ලෙසට පෞද්ගලික බැංකුවක සභාපතිවරයාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (23) නියෝග කළේය.

අදාළ බැංකුව මෙම ගිණුම් වාර්තා ලබාදීම ප්‍රතික්ෂ්‍රේප කරමින් අධිකරණ නියෝගය අවලංගු කරන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂ්‍රේප කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

බැංකු විස්තර දෙන්න බැරි ඇයි ?

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව විමර්ශනවලට සහායවීම සඳහා සුදුසු ආඥා නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා බැඳි සිටින බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසිය වෙත අදාළ තොරතුරු ලබාදීම සඳහා ඉකුත් 2වන දින බැංකු ආඥා පනත අනුව නියෝග නිකුත් කර ඇති බවත් එය අවලංගු කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා අදාළ බැංකුවේ සභාපතිවරයාට මෙම ‍නි‍යෝගය නොපමාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණ වැළක්වීම යටතේ වරදක් !

වර්ෂ 2014 දෙසැම්බර් මස සිට 2015 ජනවාරි දක්වා කාලයේ දී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් හා තවත් කිහිපදෙනකු භාරයට පත්කිරීම මඟින් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ‍යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධව විමර්ශන සඳහා බැංකු ලේඛන පරීක්ෂාව සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට විශේෂ පොලිස් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
නො. 118/2 , විර උදිත මාවත, හැඩිගම, පිළියන්දල පදිංචි දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක යන අය 2016/5/9 දින පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

කළු සල්ලි සුදු කරන්න කැබ් අරගෙන 

වර්ෂ 2014 දෙසැම්බර් කාලයේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් යන අය අරලියගහ මන්දිරයෙන් ලබා දුන් මුදල් යොදවා FAW වර්ගයේ කෲ කැබ් රථ 18ක් සුගත් රොහාන් ලොකුමුදලි විසින් මිල දී ගෙන ඇති අතර ඔහු විසින් පවත්වාගෙන යන ලද ව්‍යාපාර මඟින් මෙම වාහන මිළ දී ගත් බව ඇඟවීම සඳහා සැලසුම් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ය.

ඒ අනුව 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව කැබ් රථ 18න් 17ක්ම විකුණා මුදල් කර ගැනීමට කටයුතු කර බවට ද පැමිණිල්ලේ සඳහන්ය.
තවද හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් ලබා දුන් චෙක්පත් පැමිණිලිකරු හා රොහාන් ලොකුමුදලි විසින් මාරු කර රුපියල් කෝටි 20ක් ලබා ගත් බවත් ලංකා බැංකුවෙන් චෙක්පත් 5ක් , එච්.එස්.බී.සී බැංකුව චෙක්පත් 4ක්, කොමාර්ෂල් බැංකුව චෙක්පත් 3, සම්පත් බැංකුව චෙක්පත් 4ක් , හැටන් නැෂනල් බැංකුව චෙක්පත් 4ක් හා මහජන බැංකුව චෙක්පත් 5ක් මාරු කර බවට පැමිණිලි කරු සඳහන් කර සිටී.

මෙසේ මාරු කළ කෝටි 1250ක් රොහාන් ලොකුමුදලිට අයත් කේ.ජේ 6434 දරණ වාහනයේ රැගෙන ගොස් අරලිය ගහ මන්දිරයේ බණ්ඩාරට භාර දුන් බවත් තුෂාර යන අය ද එම ස්ථානයේ සිටි බවට පැමිණිලිකරු පවසා සිටි.

ගාමීණී සෙනරත් සහ රෝහණ ලොකු මුදලි 

මෙසේ ගෙන ගිය කෝටි 2 1/2 මුදලක් අරලිය ගහ මන්දිරයට භාර නොදී එම මුදල පැමිණිලිකරු ලවා සුගත් රෝහණ ලොකු මුදලි පවත්වාගෙන ගිය නිම්සර එන්ට්‍රප්‍රයිසස් නමින් වු ගිණුමට එදිනම තැන්පත් කළ බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

වර්ෂ 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් දින කිහිප‍යකට පසු රොහාන් ලොකුමුදලි යන අයගේ උපදෙස් මත අරලිය ගහ මන්දිරයට ගොස් එහි සිටි අමිල නමින් හඳුන්වන පුද්ගලයකු හරහා ඡායා පිටපත් යන්ත්‍ර දෙකක් පී.ඊ. 1134 දරණ වෑන් රථයේ දමාගෙන ලොකු මුදලි පවත්වාගෙන ගිය කොස්වත්ත බත්තරමුල්ල පිහිටි ප්‍රෙස්කෝ ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙත භාර දුන් බවට ද පැමිණිල්ලේ සඳහන්ය.

මිට අමතරව ලක්ෂ 500 බැගින් වු චෙක්පත් දෙකක් හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ට හා රොහාන් ලොකු මුදලි වෙත ලබා දුන් බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙය 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 හා 389 යටතේ වරදවල් බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

සිද්ධියට අදාළව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්, සුගත් රොහණ ලොකු මුදලි , ඒ.එම්.එම්.බී. අබේසිංහ,එම්.කේ .ධනුෂ්ක ලක්ෂාන්, කොළඹහේවගේ තුෂාර හා වී.කේ‍.විජේසිංහ යන අයගේ විදේශ ගමන් ද 2016/5/17 වන දින අධිකරණය මඟින් තහනම් කර තිබේ.
සිද්ධියට අදාළව සී.ආර්. 2/89/2016 යටතේ උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර නීතිපති උපදෙස් අනුව චෙක්පත් සම්බන්ධව තවදුරටත් විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්විය.

අධිකරණය පෙරදුන් තීන්දුව 

මේ අනුව වර්ෂ 2014 /11/20 සිට 2015/1/8 දක්වා කාලයේ දී මිලියන 10කට අධික වටිනාකමින් යුතු චෙක්පත් සම්බන්ධ ගනුදෙනුවලට අදාළ තොරතුරු රහස් පොලිසිය වෙත ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් 2වන දින බැංකු හා සමාගම් 39 වෙත නියෝගයක් නිකුත් කර තිබිණි.
එම නියෝගය අවලංගු කරන ලෙසට හැටන් නැෂනල් බැංකුව කළ ඉල්ලීම මත නඩුව යළි ඊයේ කැඳවනු ලැබිණි.

මෙම නියෝගයට අනුව බැංකු ගිණුම් සම්බන්ධ විස්තර ලබාදීම ගනුදෙනුකරුවන්ගේ රාහස්‍යභාවය සම්බන්ධ ගැටලුවක් මතු වන බවත් අවශ්‍ය පුද්ගලයන් නම් කරන්නේ නම් ‍එම විස්තර ලබාදීමට කටයුතු කරන බවට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි රහස් පොලිසිය කරුණු දක්වමින් පවසා සිටියේ චෙක්පත් 82ක් මගින් විවිධ පුද්ගලයන්ට රුපියල් කෝටි 1378ක මුදලක් ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවත් එහි සුලමුල සම්බන්ධ විමර්ශන කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති හෙයින් මෙම විමර්ශනය පුළුල්ව සිදු කරන බවයි.

මහෙස්ත්‍රාත්වරයා - බැංකුවට මෙම තොරතුරු ලබා දිය නොහැකි වන්නේ ඇයි ?
නීතිඥවරයා - මෙය ජාත්‍යන්තර මට්ටමේ පවතින බැංකුවක් විදේශිකයන් පවා ගනුදෙනු කර තිබෙනවා. ඔහුන්ගේ රාහස්‍යභාවය සම්බන්ධ ගැට්ලු මතු වෙන්න පුළුවන්.

මුලික විමර්ශනයේ දී චෙක්පත් 14ක් හැටන් නැෂනල් බැංකුව හරහා මාරු වී ඇති බවට කරුණු අනාවරණය වන බව පැවසු රහස් පොලිසිය විදේශ සමාගම් මඟින් මෙන්ම විදේශ ගිනුම් මඟින් මුදල් හුවමාරු වී ඇති බවට කරුණු අනාවරණය වන බව පැවසීය. මුදල් මාරු කරගත් පුද්ගලයන් 8දෙනෙකු සම්බන්ධ කරුණු සඳහන් වුවත් අපට ස්ථිරව තොරතුරු අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධව දැනුම් දුන්නහොත් ඊට ක්‍රියා කරන බවට නිතිඥවරයා සඳහන් කෙළේය.

2006 මුදල් විශුද්ධිකරණ පනතේ 16 වන වගන්ති ප්‍රකාරව රාහස්‍යභාවයට හා වෙනත් බැඳීම්වලට සිමාවන් නැති බව සඳහන් වන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට සහාය දෙන නිලධාරිවරයා වශයෙන් තමා මෙම නි‍යෝගය අවලංගු කිරීම ප්‍රතික්ෂ්‍රේප කරමින් අවශ්‍ය තොරතුරු රහස් පොලිසිය වෙත වහා ලබා දෙන ලෙසට හැටන් නැෂනල් බැංකුවේ සභාපතිවරයා වෙත නියෝග කළේය.