රාජ්‍ය ආයතනවල පරිබාහිර සේවකයන්ට  වැටුප් ගෙවීම් තහනම්  

රාජ්‍ය ආයතනවල පරිබාහිර සේවකයන්ට  වැටුප් ගෙවීම් තහනම්  

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

 එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා  විසින් වගකීම දැරිය යුතු යැයි මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අංක 03/2018 හා 2018.07.18 දිනැති චක්‍රලේඛයේ සඳහන්ව ඇත.
 
රජයේ ව්‍යවස්ථාපිත ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම භාරගත යුතුයැයි මෑතදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
 
පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතන විසින් සිය ආයතනවල දැනටමත් එවැනි සේවක පිරිස් ඇත්නම් ඒ පිළිබඳ සළකා බැලීම සඳහා එම සේවක සංඛ්‍යා හා ඔවුන්ගේ පඩි නඩි පිළිබඳ තොරතුරු, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතුයැයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 ඒ අනුව, මින් මතුවට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියෙන් තොරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවන්නේනම් ඒ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන භාර ලේකම්වරුන්/ ප්‍රධාන ලේකම්වරුන්/ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ ආයතනයන්හි මූල්‍ය ප්‍රධානීන් වගකිව යුතු බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න