විගී ඇතුළු තුනකට නොතීසි !

  විගී ඇතුළු තුනකට නොතීසි !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට අද(08) අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරිම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 7 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින්ය.

ඒ අනුව  නොතිසි නිකුත් කර ඇති සෙසු පළාත් අමාත්‍යවරුන් වන්නේ ආනන්දි සසිදරන් සහ කේ.සිවනේසන් යන අයය.

අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී ඩෙනීෂ්වරන්  ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කිරීම සිදු කර තිබේ.

ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් එම නියෝග ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද  හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ අතර ඉකුත් වසරේ උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහනමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය  සැප්තැම්බර් මස 10 වන දා  දක්වා දීර්ඝ කිරීමට අද තීරණය විය.

එදිනට පෙර විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන මෙන් ද අධිකරණය වගඋත්තරකාර පාර්ශවයට නියම කළේය.

හිටපු ඇමතිවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටින්නේ  දූෂණ චෝදනා එල්ල කරමින් තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත්කරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී තීන්දු කළ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයකු නෙරපීමේ බලය එම පළාතේ ආණ්ඩුකාර වරයාට පමණක් සතු වී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු ප්‍රධාන අමාත්‍යවරයාට අමාත්‍යවරුන් ඉවත් කිරීමේ බලතල පැවරී නොමැති බව ද පෙන්වා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න