Language Switcher

V2025

මගී ජනතාවනි, දුම්රිය වර්ජනයේ තිත්ත ඇත්ත මෙන්න !

දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය මගී ජනතාව අපහසුවට පත්කරන නින්දිත සහ ඉතා අසාධාරණ කටයුත්තක් බව අනාවරණය වෙයි.

සැබවින්ම දුම්රිය සේවාවේ මේ වනවිට වැඩ වර්ජනය කරන දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලවල වැටුප් වාර්තාව දැකගතහොත් මහජනතාව පමණක් නොව   එකළොස් ලක්ෂයක් පමණවන  සෙසු රාජ්‍ය සේවකයන්ද පුදුමයට පත්වීම නොඅනුමානය. ඊට හේතු වන්නේ  බොහෝ මාසවලදී ඔවුන්ගේ මාසික ඒකාබද්ධ වැටුප දෙලක්ෂ පනස්දහසකට ආසන්න වීමය.

අදාළ නිදර්ශන සහිතව එම කාරනා මෙසේ පෙළගැස්විය හැකිව ඇත.

මේ වන විටත් වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් යනු තමන් ලබන මාසික ඒකාබද්ධ වැටුපට මසකට රු. 10,000 ක් පමණ උපයන විට ගෙවීමේ බදු ගෙවන රාජ්‍ය අංශයේ වැඩි වැටුප් ලබන සුළු පිරිසකගෙන් එක් කොට්ඨාශයකි.

එසේම දැනට වැඩ වර්ජනයේ නිරත දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධීක්ෂණ කළමනාකරණ විශේෂ ශ්‍රේණියට  අයත් නිලධෘරීන්ගේ මාසික ආරම්භක මූලික වැටුප  රු. 44,600 (වැටුප් කේතය එම් එන් 07)කි.  ඔවුන්  මේ වර්ජනය දියත්කර ඇත්තේ මෙම මූලික වැටුප රු. 56,205 ක් ලෙස වැඩිකරන ලෙස ඉල්ලමින්ය.

1,141,650 ක් වන විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ගෙන් මේ සා විශාල ලෙස ලක්ෂ ගණනින් ඒකාබද්ධ මාසික වැටුප් ලබනුයේ දුම්රිය සේවය හැරුණු විට වෛද්‍ය සේවයේ නිලධාරීන්  සහ මෑතක සිට විධායකයට අයත් නීතිපති හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් පමණි.

ඒ අනුව වර්ජකයන්ගේ මෙම ඉල්ලීම කඩිනමින් ලබාදිය නොහැකිව ඇතුවා පමණක් නොව එසේ සිදුකළහොත් රාජ්‍ය අංශයේ අතිවිශාල වැටුප් විෂමතාවක් ඇතිවීමද වලක්වාගත නොහැකිය.

ඉතා පැහැදිළිව මෙහිදී දැනට රාජ්‍ය සේවයට අයත් ඉංජිනේරු, ගණකාධිකාරී, ක්‍රමසම්පාදන, වාස්තු විද්‍යාඥ,, වෛද්‍ය සේවා,  කෘෂිකාර්මික, මිනින්දෝරු, කාර්මික, සහකාර පොලිස් අධිකාරී ආදී වෘත්තීය සේවාවන් හට අයත් නිලධාරීන්ගේ මෙන්ම පරිපාලන නිලධාරීන් හා අධ්‍යාපන පරිපාලන සේවාවන්  ඇතුළු  දීප ව්‍යාප්ත සේවාවන් හට අයත් නිලධාරීන් මෙන්ම  දේපාර්තමේන්තුගත සේවාවල නිලධෘරීන්ගේද මූලික වැටුපට වඩා වැඩි වැටුපක් දුම්රිය සේවකයන් හට ලැබෙනු ඇත. මෙය, රාජ්‍ය සේවයේ මෙතෙක් පැවත ආ වැටුප් ව්‍යුහයේ විශාල පරතරයක් ඇතිවීම වැළැක්විය නොහැක. 

දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් පසුගිය අඟහරුවාදා ප්‍රතික්ෂේප කර  සිටියේ  ශ්‍රේණි කිහිපයක  වැටුප් හිතුමතේ වැඩිකිරීමට ගියහොත් ඊට සමාන්තර ශ්‍රේණිවල රජයේ සේවකයින් ද  තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පාරට බසින තත්ත්වය පාලනය කර ගන්නටය. 

එසේම  දුම්රිය ද  ඇතුළුව සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධව ක්‍රියා කිරීමට වැටුප් කොමිසමක් පත් කිරීමටත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව  ලබන සතියේ කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරණ බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් නිවේදනය කර ඇත.
 
දුම්රිය වෘත්තීය සමිති විසින්  ජනතාව දැඩි පීඩාවකට පත්වන ආකාරයට හදිසි වර්ජනයක් දියත් කරේ එතරම් පැහැදිළි විසඳුමක් ලබාදී තිබියදීය.

අවම වශයෙන් උසස් පෙළ විභාගය මේ දිනවල පවතින බවත් එම අහිංසක සිදුන් ප්‍රවාහන දුෂ්කරතා හමුවේ මුහුණ දෙන පීඩනය ගැනවත් හිතන්න තරම් පපුවක් මේ තලෙයිබාන් පන්නයේ වෘත්තීය සමිති වලට තිබුණේ නැත. 

සැබවින්ම මේ දුම්රිය වෘත්තීය සමිති කිහිපය පමණක් නොව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවා එහෙමය. ඔවුන් දැඩි  ආත්මාර්ථකාමී අසාධාරණ ඉල්ලීම් වෙනුවෙන් දෙවරක් නොසිතා ජනතාව ප්‍රාණ ඇපයට ගැනීම දැන් විලාසිතාවක් කරගෙන ඇත.

මේ  දෙස බලා දත් විලිස්සාගෙන සිනාසෙන රාජපක්ෂ කල්ලියේ උත්සාහයත්  වෘත්තීය සමිති කෙරුම් නිසා පීඩාවට පත්වූ ජනතාව  ආණ්ඩු විරෝධයක් වෙත යොමුකරන්නය. ඒ  මිස ජනතාවට සිදුවන අසාධාරණය ගැන තැකීමක් රාජපක්ෂ කල්ලියටද  නැත.

ඒ කියන්නේ රාජපක්ෂ කල්ලියත් මේ නින්දිත වෘත්තීය සමිති කල්ලිත් එක වල්ලේම පොල් බවය. ජනතාව වැඩි වැඩියෙන්  පීඩාවට පත්වීම  ඔවුන්ගේ එකම අපේක්ෂාවය.

දෙගොල්ලොන්ගේම වැඩ වලින්ම ඔප්පු වන ඇත්ත එසේ බැවින්  මේ ප්‍රජා පීඩකයින්ට පාඩම් ඉගැන්විය යුතුව ඇත්තේද ජනතාවමය. 

ඉතිහාසය පුරා වෘත්තීය සටන් සඳහා පොදු ජනතා සහය ලැබුණේ ඒ වෘත්තීය සටන් සාධාරණ මෙන්ම පොදු සුභ සිද්ධිය අරමුණු කරගත් අවස්ථා වලදී පමණය.
 
ඊයේ දුම්රිය වෘත්තීය සමිති වර්ජනය ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක්වූයේ අන්න ඒ කියන පොදු සුභ සිද්ධිය ඒ වර්ජනයේ නොතිබූ නිසාය.
 
එහෙත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡා සඳහා එන්නේ නැත.  වෘත්තීය සමිති අදත් කියන්නේ   වර්ජනය අඛණ්ඩව සිදුකරන බවය.
 
ඇත්තටම වෘත්තීය සමිති සාකච්ඡා මඟ හරින්නේ අන් කිසිවක් නිසා නොව තමන් කරන මේ අසාධාරණ වර්ජනය අනාවරණය වනවාට ඇති බය නිසාය.

දුම්රිය සේවක වැටුප් මෙන්න