Language Switcher

V2025

විභාග රාජකාරියට  වඩා හොඳයි : මේසන් බාස්ට අත් උදව් දෙන්න යනවා - ගුරු සංගම්

ජාතික විභාග රාජකාරි කටයුතුවල නිරත ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු නිලධාරීන් සඳහා කරන ගෙවීම් ඉතා අවම තත්වයක පවතින බවත්  එම දීමනා පවතින ජීවන වියදමට පවා නොගැළපෙන බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය මේ බව සඳහන් කරන අතර වීභාග රාජකාරි කටයුතුවල නිරත වන සම්බන්ධීකරණ නිලධාරියෙකු සඳහා රු.1700/-ක්, ශාලාධිපතිවරයෙකු සඳහා රු.1500/- ක්, නිත්‍ය නිරීක්ෂක සඳහා රු.1300/- ක්, අතිරේක නිරීක්ෂක සඳහා රු.1200/- ක් වශයෙන් ඉතා අවම මුදලක් ගෙවනු ලබන බවද එහි සඳහන් කර ඇත.

එහෙත්  මෙවර විභාග රාජකාරි සඳහා අලූතෙන් පත් කළ අතිරේක ශාලාධිපති සඳහා රු.1500/- ක් සහ ගමන් වියදම් රු.600/- ක් දිනකට ගෙවන අතර  ඒ අනුව අතිරේක ශාලාධිපතිවරයෙකුට 2100/- ක් දීමනාවක්හිමිවෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පෙදරේරුවෙකු පවා  දිනකට රු.2500/- කට වැඩි මුදල් අයකරන අතර අත් උදව්කරුවෙකු රු.1500/- ක පමණ මුදල් අය කරන බවත් නමුත්  ජාතික විභාග රාජකාරිවල නිරත ගුරුවරු සහ විදුහල්පතිවරු ලබන්නේ ඉහත දැක්වූ ආකාරයේ ඉතා අවම මුදලක් බවත්ය.

මේ තත්වය මත විභාග රාජකාරි සඳහා කරනු ලබන ගෙවීම් වහා වැඩිකරන ලෙස ලංකා ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.