දුම්රිය ධාවනයට වෘත්තීය සමිති කිහිපයක් ඉදිරිපත් වෙයි !

දුම්රිය ධාවනයට වෘත්තීය සමිති කිහිපයක් ඉදිරිපත් වෙයි !

දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් අවස්ථාව ලබාදෙනවා නම් දුම්රිය ධාවනය කිරීමට තමන් සූදානම් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම  කැඳවුම්කරු  එස්. පී. විතානගේ  ප්‍රකාශ කරයි. 

මාධ්‍ය හමුවක් පවත්වමින් එම සන්ධානයේ සම කැඳවුම්කරු  එස්. පී. විතානගේ මේ බව සඳහන් කරන අතර  වැඩවර්ජනයට සම්බන්ධව කටයුතු කරන්නේ දුම්රිය ධාවනයට සෘජුවම සම්බන්ධ වෘත්තීය සමිති හතරක් පමණක් බවද ඔහු පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු  එස්. පී. විතානගේ මෙසේද පවසා ඇත.

රියැදුරන්, ස්ථානාධිපතිවරු, නියාමක හා අධික්ෂණ කළමනාකරුවන් යන ශ්‍රේණිවල වෘත්තීය සමිති පමණයි මීට සම්බන්ධවී සිටින්නේ. වර්ජනයට සම්බන්ධ නැති වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. වැටුප් විෂමතාවක්  නිසා මේ ශ්‍රේණිවල අය මීට කිහිප වරක්ම වර්ජන සිදුකළා. එහිදී එක් අවස්ථාවක ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක ගත් තීන්දුවක් අනුව සරත් අමුණුගම කමිටුව පත් කෙරුණා. එම කමිටුව පැවරූ කාර්ය නොවේ සිදුකළේ.

වර්ජකයන්ගේ මැදිහත්වීම ආත්මාර්ථකාමීයි 

අපිට තිබෙන ගැටලුව වන්නේ මේ වර්ජනයේ නිරතවන සහෝදරවරුන් ඒ අයගේ ප්‍රශ්නය ගැන විතරයි කතා කරන්නේ සමස්තයක් ලෙස දුම්රිය දෙපාර්මේන්තුවේ අනෙකුත් සේවකයන්ගේ වැටුප් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා සේවකයන් අතර මතභේදයක් ඇති වෙනවා. ආණ්ඩුවටත් ඕනේ ඒ දෙය කරගන්නයි. ඒ නිසා වැඩවර්ජනයේ යෙදී සිටින සහෝදරවරු කල්පනාකාරී විය යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික කිරීමේ ක්‍රියාවලියට වර්ජනය රුකුලක් වෙනවා. මේ නිසා ජනතාව කැමැත්ත පළ කරනවා දුම්රිය පෞද්ගලික කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි සියලු දෙනා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ජාවාරම්කාරයන් මේවා ගන්න සූදානම්වී සිටින නිසා මේ වර්ජන පසු පස්සේ සිටින්නේ ජාවාරම්කාරයන් කිවුවොත් නිවැරැදියි.

වෙල්ගමගේ ඥාති පුත්‍රයා නිසා දේශපාලන වැඩක් දැයි සැකයි !

එහිදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ  සන්ධානයේ සම කැඳවුම්කරු දුම්රිය සේවක සංගමයේ සභාපති ඩී. එම්. ඩී. අබේරත්න ද අදහස් දැක්වූ අතර එහිදී ඔහු සඳහන්කර සිටියේ ඉකුත් 8 වනදා ආරම්භ කළ වැඩවර්ජනය ගැන තමන්  කනගාටු වන බවය.

එසේම  ඕනෑම වෘත්තීය සමිතියකට වර්ජනය කිරීමේ අයිතිය ඇති නමුත්  කිසිදු පෙර දැන්වීමකින් තොරව වර්ජනය ආරම්භ කිරීම ගැන තමන් වෘත්තීය සමිති ලෙස ජනතාවගෙන් සමාව අයදින බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු දුම්රිය සේවක සංගමයේ සභාපති ඩී. එම්. ඩී. අබේරත්න මෙසේද පැවසීය.
එදා සිට අපි වර්ජනය කළේ මගී ජනතාව වෙනුවෙන්. මෙහි දී ඔවුන්ට ගමනාගමන පහසුව කලින් ඇති කරගන්න දැනුම්දීමක් සිදු කළේ නැති එක ගැන කනගාටුයි.

ආණ්ඩුව දැනගන්න ඕනේ වැටුප් ගැටලු විසඳන්න ජාතික වැටුප් කොමිසමක් පත් කර තිබෙද්දී එය පැත්ත තබා එම බලය කැබිනට් මණ්ඩලයට ගැනීම හොඳ වැඩක් නොවේ. ඒ නිසා මේ වැඩවර්ජනයට ආණ්ඩුව වගකිව යුතුයි. වැටුප් කොමිසමක් පත් කරලා රුපියල් ලක්ෂ ගණන් වැටුප් ගෙවලා එම නිලධාරීන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සීතල කාමරවලට වෙලා සිටිනවා. ඇමැති අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශයන් මේ වැටුප් ගැටලු විසඳන්න නොවේ එහි නිර්දේශ වූයේ දුම්රිය දෙපාර්තමේන්තුවට පාලක මණ්ඩලයක් පත් කොට ක්‍රමක්‍රමයෙන් මෙය පුද්ගලික අංශයට ලබාදීමයි.

වත්මන් දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා කුමාර වෙල්ගම මහතාගේ ඥාති පුත්‍රයෙක් වන බව මෙහි දී ප්‍රකාශ වූ අතර, ඒ නිසා වෙනත් දේශපාලන බලපෑමක් මීට ඇත්ද යන්න සැක බව ද කියැවිණි.

මේ අවස්ථාවට දුම්රිය රියැදුරු සහායක සංගමයේ සභාපති ධනුෂ්ක පෙරේරා, දුම්රිය එන්ජින් රියැදුරු (සන්ටින්) සංගමයේ සභාපති කේ. ඒ. ප්‍රේමකුමාර, ලිපිකරු සංගමයේ සභාපති කේ. ජී. පී. ජී. මහානාම, ස්ථාන සහායක සංගමයේ ජී.කේ. සුමිත්නන්ද යන වෘත්තීය සමිතිවල නියෝජිතයන් මෙහි දී අදහස් දැක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න