වෛද්‍ය සභාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් 

වෛද්‍ය සභාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් 

විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කර එංගලන්තය මෙන් දියුණු වෛද්‍ය සභාවක් ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදි ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරන බව සෞඛ්‍ය, පෝෂණ සහ ආයුර්වේද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා රාවයට පැවසීය.

එංගලන්න වෛද්‍ය සභාව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයක් ලෙස ගැනෙන බවත් වෛද්‍ය සභාව යනු වෛද්‍යවරුන්ගේම සභාවක් නොවන බවත් එය මහජනතාවගේ සභාවක් බවත් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන පැමිණිළි එම සභාව තුළ විභාග කෙරෙන්නේ වෛද්‍යවරුන් විසින්ම හෙයින් වෙනත් රටවල ඒ සඳහා සම්පූර්ණ දැනුම තිබෙන විද්වතුන් මෙන්ම මහජන සංවිධානවල නියෝජිතයන්ද සිටින හෙයින් එවැනි පිරිසක් සිටීම තුළ මහජනතාවට වඩාත් ස්වාධීන සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළින් ලබාගැනීමට අවකාශ සැලසෙන බවත් වෛද්‍ය සභාව විසුරුවා හැරීමට කටයුතු කරන බව කෙරෙන ප්‍රකාශය අසත්‍ය බවත් සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය. වත්මන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ චෝදනාවලට ලක්ව වැරදිකරුවන් වූ පුද්ගලයන්ද සංගමයේ සාමාජිකයන් බවට පත්ව සිටින බවද සෞඛ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය. වෛද්‍ය සභාව තුළ ප්‍රතිසංශෝධන ඇතිවිය යුතු බවට වි‍ශේෂඥ වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවත්, එම සංශෝධනය කඩිනමින් සිදුනොවන බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න ඉල්ලා අස් වූ බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකාද එම සභාව තුළ ප්‍රතිසංශෝධනයක් අත්‍යවශ්‍ය බව රාවයට පැවසීය.

තමන්ගේ සේවා කාලය තුළදී සයිටම් ගැටළුව වෙනුවෙන් මුළු කාලයම ගෙවීමට සිදුවූ හෙයින් වෛද්‍ය සභාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ඔහු පැවසීය. රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙතෙක් පැවති ආකාරයට ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් එහි අඩුපාඩුකම් තිබේ නම් ඒවා සකස් කරගැනීමට කටයුතු කිරිම අවශ්‍ය බවත් රාවයට පැවසූහ.

මේ අතර රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ කිසිදු වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ සිසුන් එකඟ නොවන බවය. රජය විසින් ඊට කඩිනමින් ප්‍රතිශෝධන ගෙන ඒමට උත්සාහ දරණුයේ සයිටම් ආයතනයේ උසස් පෙළ “එස්” සාමාර්ථ තුනක් වත් නොතිබෙන සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීමට සහ වෛද්‍ය සභාවේ සේවයට අනුයුක්ත කර තිබෙන උසස් පෙළ අසමත්වූවන්ට රැකියා ලබාදීමට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම සඳහා බවද ඔහු රාවයට පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ අනුරුද්ධ පාදෙණිය මහතා රාවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ප්‍රතිසංවිධානය කිරීමට තම සංගමය විරුද්ධ නොවන බවත් එහිදී අදාළ පාර්ශවයන් සමග සාකච්ඡාකොට තීරණවලට එළඹීම අවශ්‍ය බවත් පැවසීය.

වෛද්‍යවරු විදේශ රටක සේවය කිරීමේදී මව්රටින් සේවා සහතිකයක් ගෙන ඒම අනිවාර්ය වුවද ශ්‍රී ලංකාව තුළ සේවය කරනු ලබන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීමේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම ගැන වෛද්‍ය සභාවට පෙන්වා දීම තුළ තම සංගමය පිළිබඳ අප්‍රසාදය පළ කිරීමට රජය කටයුතු කරන බවද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අනාවරණය කළේය.

රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න