නීතිපති උපදෙස් ලැබුණ සැණින් කරන්නාගොඩ අත්අඩංගුවට

නීතිපති උපදෙස් ලැබුණ සැණින් කරන්නාගොඩ අත්අඩංගුවට

නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණහොත්, යුද සමයේ 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියට හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව රාවයට දැනගන්නට ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් ඇතුළු 11 දෙනෙකු මෙසේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියට අදාළව අධිකරණය මගහරිමින් සිටි හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැති හිටපු නාවික හමුදා නිලධාරියා රහස් පොලිසිය මගින් පසුගියදා අත්අංඩගුවට ගත් අතර ඔහුගෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට රහස් පොලිසිය සමත් වී ඇතැයි දැනගන්නට ඇත.

රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළ ලේඛන, හිටපු ජනපතිවරයාට බාරදීමට යන අවස්ථාවේ, කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේ ගමන් කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගැනීම සුවිශේෂී සිද්ධියක් ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබිණි.

මෙහිදී නිශාන්ත සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවක සඳහන් කර ඇත්තේ අන්වර්ථ නාමවලින් පෙනී සිටින සිද්ධියට අදාළ තවත් හිටපු නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු විදේශ ගත වී ඇත්ද යන්න සැක මතුවන බවය. නාවික හමුදාව විසින් විදේශගත කර ඇති, දෙදෙනෙකු එම සැකකරුවන් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ පවත්වන බවද එම වාර්තාවේ දැක්වේ.

සිද්ධියේ පළමු සැකකරුවා දොන් නිලන්ත සම්පත් මුණසිංහ නැමැති හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂකයාට එරෙහිව කරන්නාගොඩ මහතා 2009 මැයි 28 දින එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙත පැමිණිල්ලක් කර තිබිණි.

11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය හා ඊට වගකිවයුතු නාවික හමුදාවේ පිරිස පිළිබඳ හිටපු නාවික හමුදාපතිවරයා දැනුවත්ව සිටියත් පෞද්ගලික හේතුවක් මත සම්පත් මුණසිංහ ඉලක්ක කරගෙන පමණක් පැමිණිලි කිරීම පිළිබඳවද රහස් පොලිසිය කරුණු රැසක් තහවුරු කරගෙන ඇති බව දැනගන්නට ඇත. 2018 පෙබරවාරි 18 වන දින රහස් පොලිසිය ඒ ගැන සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ අතර දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ රවීන්ද්‍ර විජේගුණරත්නට අදාළව වෙනම නඩු කටයුත්තක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ. සිද්ධියට අදාළ සැකකරුවන් විදේශගත කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුට චෝදනා එල්ල කර තිබේ. 11 දෙනා පැහැගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක ඇතුළු සැකකරුවන් පිරිසක් මේ වන විට ඇප මත මුදාහැර ඇත.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න