මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර වදහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
කෙසේ වුවත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අදාළ සිදුවීම ආවර්ජණය වූ නිසාදෝ දැඩි ආතතියකින් පසුව ඉවක් බවක් නැතිව විවිධ චෝදනා නගමින් අසල සිටි සහයකයන්ට බැනවදින්නට ගෙන ඇති බවද වාර්තා වෙයි.
උදිත ලොකුබණ්ඩාරට බැනවදියි
අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පැමිණෙන විටත් ආතතිය පහවගොස් නොතිබූ බවත් ඒ හේතුවෙන් මේ වන විට හිටපු ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර වෙත "මෝඩ යකෙක් මූ.." කියා බැනවැදී ඇති අතර පසුව මාධ්‍ය හමුවේ සිටින බව තේරුම් ගියෙන් ආයාසයෙන් සිනාසී ඇති බවද එම පාර්ශවයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මස 22 වනදා සේවය අවසන්කර සිය නිවස බලා යමින් සිටියදී පැහැරගැනීමට ලක්වු අතර ඊට පසුදින ඔහුව නිවස අසලට ගෙනැවිත් දමා තිබුණේ දරුණු ලෙස පහරදීමෙන් අනතුරුවය.
මීට අදාළ නඩු විභාගය මේ වන විට ක්‍රියාත්මක අතර එහිදී හෙලිවූයේ පැහැරගත් මාධ්‍යවේදී කීත් නොයාර් ට දොම්පේ, බදුවත්ත යුද හමුදා බුද්ධි අංශ නිවස්නයේ දී පහරදී ඇති බවත් ඊට අදාළව හමුදාවේ පිරිසකට මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනාද එල්ලවී ඇත.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රශ්න කළ අතර එහිදී ඔහු සඳහන්කර ඇත්තේ කීත් නොයාර් මහතා පැහැරගැනීම් පිළිබද මුලින්ම තොරතුරු ලැබුනේ තමන්ට බවත් ඒ පිළිබඳ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවේදීම දැනුම් දුන් බවත්ය.
මහින්දට සේරම අමතකලු !
එමෙන්ම පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට ගොස් මාධ්‍යවේදී කීත් නොයාර් හමුවී ප්‍රකාශ සටහන්කරගත් අතර එකී කරුණු මතද පැහැරගැනීම සිදුකළ පාර්ශවය ගැන හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිට ඇති බව අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.
නමුත් අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති පවසා සිටියේ කතානායකවරයා (එවකට අමාත්‍ය) තමන්ට දුරකතනයෙන් ඇමතු බවක් මතක නැති බවය.

