Language Switcher

V2025

විකිරණ අපද්‍රව්‍ය බොරු කතාවක් - පාඨලී  

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නොමැති බවත් තමන්  පරමාණු බලශක්තිය ආයතනය අවුරුදු 10 ක් පාලනය කළ බැවින් ඒ පිළිබඳ හොඳින්ම දන්නා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ න්‍යෂ්ටික තාක්ෂණ ආයතනයෙන් ලැබුණ ඕනම ආකාරයක විකිරණයක් හඳුනාගන්න පුළුවන් විශේෂ උපකරණයක් වරායේ සවිකර ඇති බවත්   එසේම රට ඇතුලේ  සියළුම ආකාරයේ විකිරණ පරික්‍ෂණ කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම අපේ පරමාණු බලශක්ති අධිකාරියට තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම හරහා මෙරටට විකිරණ එන බවට පැවසීම  සම්පූර්ණයෙන්ම මිනිසුන් බය කිරීම සඳහා සිදු කරන අසත්‍ය ප‍්‍රචාරයක් බවත්  එවැනි දෙයක් කරන්න බැහැ යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ, මහනුවර ශ‍්‍රී දළඳා මාලිඟාවේ ඇත් ජල තටාංගනය ඉදිකර මාලිගාව වෙත පූජා කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මැතිවරණවලදී මොනවගේ ප‍්‍රතිපළයක් දෙනවාද කියන එක ජනතාවට අයිති දෙයක්. පසුගිය පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුව 39%ක ඡන්දයක් ලැබුණා. නමුත් එම ඡුන්දය ලැබුණු හැටියෙම පෙනුනා පොහොට්ටුවේ සැබෑ ස්වරූපය.

රාජපක්ෂ පවුල එකත්, දෙකත්, තුනත්, හතරත්, පහත්, හයත්, දහයත් ඒ ගොල්ලො. අනෙක් සියළුම නායකයෝ ඒ අයගේ දාසයෝ හැටියට කි‍්‍රයාකිරීම. ඒ කියන්නේ පොල්ලෙලි හැටියට පාවිච්චි කිරීම තමයි එතන සිදුවෙන්නේ. ඒ වගේම රාජපක්ෂ පවුලේ මායාවක් තිබෙනවා ඒ අයගේ ඇඟෙ තමයි ලේ දුවන්නේ, අනෙක් අයගේ ඇඟෙ දුවන්නේ මඩ කියලා. ඇත්තටම මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ බැසිල්, ගෝඨාභය හෝ වෙනත් කෙනෙක් රාජ්‍ය ආයතනයක් හරියට කරල ආදායම් උපදවපු තැනක් පෙන්වන්න කියලා මම කියනවා. වියදම් කරන්න දැනගෙන හිටියා. විදේශ රටවලින් වාණිජ ණය අරගෙන වියදම් කරන්න. හැබැයි ආදායම් උපදවපු තැනක් නැහැ.

රාජපක්ෂලාගේ කළමනාකරණ හැකියාවට තිබෙන හොඳම උදාහරණ තමයි වරාය, ගුවන් තොටුපල, ගුවන් සේවයයි. ලංකා විදුලි බල මණ්ඩලය අපි හරියට කරගෙන එනකොට අපට එය කරන්න දුන්නේ නැහැ. මත්තල ගැන ලොකුවට කතා කරනවා ජාතික සම්පතක් කියලා. මත්තලින් ලැබෙන ආදායම වගේ 395 ගුණයක් වියදම. මේක තමයි රාජපක්ෂලා දන්න ආර්ථික කළමනාකරණය. මේ රටේ බුද්ධිතමත් ජනතාව රාජපක්ෂලා නැවත ඒ අවස්ථාව ලබාදෙන්නේ නැහැ. වහල්ලූ නම් එය සිදු කරයි. මේ ආණ්ඩුවේ යම් යම් වැරදි අඩුපාඩු තිබෙනවා. නමුත් අපි හිතනවා ඊ ළඟ ජනාධිපතිවරණයේදී අපි මේ රට ඇතුලේ කුසලතාවයට මුල්තැන දෙන රටක් හදන්න අපි අපේ ජනතාව ඉදිරියට ගෙනයනවා මිසක් රට ආපස්සට යන්නේ නැහැ.