බුද්ධාගමට අපහාසවන ගුවන්විදුලි නාට්‍ය හතක් - මහින්දගේ සුපිරි සොයාගැනීමක් 

බුද්ධාගමට අපහාසවන ගුවන්විදුලි නාට්‍ය හතක් - මහින්දගේ සුපිරි සොයාගැනීමක් 

වත්මන් යහපාලන ආණ්ඩුව වගකිවයුතු ඇතැම් පුද්ගලයන්ගේ දැනුවත්කමින් බුදු දහමට අපහාස වන ආකාරයේ වැඩසටහන් දැන් නිර්මාණය වෙමින් පවතින්නේ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා  සිවුරුළුමුල්ල ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ පැවැති උත්සවය අමතා සඳහන් කර ඇත.

''අද රජයේ මුදල් දීලා බුදුදහමට පහර ගහලා නාට්‍යයන් හදලා තිබෙනවා. මේ වන විට නාට්‍ය හතක් හදලා තිබෙනවා. ඒවායේ 'නිර්වස්ත්‍රං පරමං සුඛං' කියලා හෙලුවෙන් සිටීම පරම සුවය කියන එකයි ඒ වචනයෙන් කියන්නේ. 'තෙරුවන් සරණයි' කියන එක 'තරුවන් සරණයි' කියලා කියනවා.'' යයි ද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඔහු එසේ චෝදනා කලේ  හිටපු ජනාධිපතිනිය සභාපතීත්වය දරණ සංහිදියා කාර්යාංශය විසින් සකසා ඇති නාට්‍ය මාලාවකට එරෙහිවය.
 ITN fm හි විකාශය කෙරෙන `රේඩියෝ කතා` නම් වූ ගුවන්  විදුලි නාට්‍ය මාලාව ගැන ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමියන් කලබල වී ඇත. ඒ, එම රේඩියෝ කතා නිසා බුදුදහමට අපහාස වන බව කියමිනි.

රාජපක්ෂ කේවට්ට මත !

හිටපු ජනාධිපති පට්ට්ටපල් කෙබර ඇදබාන තුට්ටු දෙකේ හාදයෙකු බවට පත්ව හමාරය.   'නිර්වස්ත්‍රං පරමං සුඛං' කියා නාට්‍යයක් ගැන හිටපු ජනාධිපති රස කරමින් බොරු කීවත්   ITN FM ඔස්සේ විකාශය වීමට නියමිත මෙම නාට්‍ය මාලාවේ එවැන්නක් නැත. එහි ඇත්තේ පහත සඳහන් නම් සහිත නාට්‍ය පමණය.
1. නාඩන් පටාචාරා 

2. අලුත්ම ආටිකල් එක 

3.ඉන්ද්‍රජාලික මගුල් සැණකෙළි 

4.කිඳාබැස සැරිසරන්න 

5.මනවිද මන 

6. තරුවන් සරණයි 

7.ආලවක දමනය 

8. රඟදෙන කපුවෝ 

9. භාෂ්මන්තර 

10.නියෝන් සැප ලැබේවා 

11.නිරාභිෂේක 

12. රෝම රූපණ 

13. සුවදෙන අග්නි 

14.එකතැන කැරකුම 

15.නවනළු දහම 

ඒ අනුව පෙනී යන්නේ බුද්ධාගමට අපහාසවන ගුවන්විදුලි නාට්‍ය මාලාවක් විකාශය වන බවට මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යක් බවය.   තම පාලන කාලයතුල දී ජාතිවාදය හා ආගම්වාදය පැතිරවූ මහින්ද රාජපක්ෂ මහතා යළි බලය ලබාගැනීම සඳහා දරන උත්සහයක් මිස ඊට වඩා වැඩි දෙයක් මෙතැන නැති බවය.

කෙසේ නමුත් බොරුවෙන් දිනන්න සිතා සිටින රාජපක්ෂ අවසානයේ සිය දේශපාලනය වෙනුවෙන් ආගමද විකුණගෙන කන තරම් පහතට වැටී ඇත. ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ රටේ ජනතාවද ඒ පහත් අඩියට ඇද දැමීමටය. විමුක්ති රණසිංහ එවා ඇති පහත සටහන පළකරන්නේ අවශ්‍ය අයට පහත් නොවී රාජපක්ෂ කේවට්ට මත හඳුනාගන්නටය.ජාතික සංහිඳියා කාර්යාංශයේ සාදර අනුග්‍රහයෙන් විකාශය කෙරෙන, මාලක දේවප්‍රිය විසින් නිර්මාණය කරන ලද එම නාට්‍ය මාලාව බුදු දහමට ඉතා අනුකූල එකකි.  එනිසා, කාටවත් කලබල වීමට හේතුවක් නැත. මේ ප්‍රශ්නය මතු වී ඇත්තේ, එම ඇතැම් නාට්‍යවලට යොදා ඇති නම් දෙස පමණක් බැලීමෙනි. ඒ නම්, බැලූ බැල්මට වෙනත් යෙදුම් සමග හුරුපුරුදු යෙදුම් නිසා පටලැවිල්ලක් ඇතිවුණා වන්නට පුළුවන. 

එයින් එක නමක් වන්නේ, `තරුවන් සරණයි` යන්නය. මෙය තෙරුවන් සරණයි යන යෙදුම සමග සම්බන්ධ කරගත යුතු නැත. මන්ද, මෙතැනදී මේ කියන්නේ, කුඩා දරුවන් පවා තරු බවට පත්කරමින් යන පාරිභෝජනවාදී තාරකා සමාජය ගැනය. මුළු තෙරුවන් සරණ යනු වෙනුවට තරුවන් සරණ ගොස් ඇත. එය පැවසීම බුදු දහමට නිගාවක්ද ? එසේත් නැත්නම් චාම් ජීවිතයක් පිළිබඳ යෝජනා කෙරෙන බුදු දහමේ නියම අර්ථය ඉස්මතු කිරීමක්ද ?

`නිහොන් සැප ලැබේවා` යන්න එම නාට්‍ය මාලාවේ එන තවත් නාට්‍යයක නමකි. ලංකාවට හෙළදිව කිව්වාක් මෙන් නිහොන් යනු බෞද්ධ රටක් ලෙස සැළකෙන ජපානයට භාවිත නමකි. නිහොන් සැප යනුවෙන් මෙතැන සඳහන් කරන්නේ විදෙස් රැකියා සඳහා යන මෙරට තරුණයන්ගේ ජපන් අපේක්ෂාව ගැනය. එය ජපානයේ දුක් විඳින තරුණයන් ගැන කියැවෙන කතාවකි.

`නිරවස්ත්‍රන් පරමං සුඛං` යනුවෙන් වන ගුවන් විදුලි නාට්‍යයක් ගැනද චෝදනා එල්ල වුව, එවැනි නමකින් යුතු නාට්‍යයක් ITN fm හි විකාශය වන්නේ නැත. ඒ නිසා එම චෝදනාව අදාළ වන්නේද නැත. මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාව කිසි ලෙසකින් අත්හිටුවන්නේ නැති බව ITN ආරංචි මාර්ග පවසයි. 

අනෙක් අතට, ආගමික සාහිත්‍යයේ විවිධ යෙදුම්, සාමාන්‍ය සාහිත්‍යයේ භාවිතා කළ අවස්ථා අප රටේම වුවද ඕනෑ තරම් ඇත. එවැනි උදාහරණවලින් එකක් දෙකක් මෙසේය.

``නවදැලි හේනක පෑව වැඳිරි රුව නෙක උවමින් දෙනුවන් රවටා.. මා පෙම්කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ  නිගා`` කියා සෝමතිලක ජයමහ කියන්නේ නන්ද තෙරුන් වහන්සේගේ කෝණයෙනි. මෙය කෙළින්ම නන්ද කුමාරයා පැවිදි කිරීමේ  උපක්‍රමයට අභියෝග කිරීමකි. දශක කීපයකට පෙර මේ ගීතය නිර්මාණය වෙද්දී, එවකට ප්‍රබල භික්ෂූන් වහන්සේලා ඊට විරුද්ධ නොවූහ. ධර්ම සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය අතර වෙනස වැටහෙන ප්‍රබුද්ධත්වක් උන්වහන්සේලාට තිබිණි. 

``පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න.. දළඳා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න`` යැයි කීම නිසා කිසිවකු වික්ටර් රත්නායකට දෝෂාරෝපණය කළේ නැත. ආගමික සංස්ථාවේ කුල භේදය විදහා පෙන්වන එම ගීතය ඉවසන්නට පුළුවන් භික්ෂු සමාජයක් හෙට දවසේ සිටීවිදැයි සැක සහිතය. ``නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා. මහරෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා`` යනුවෙන් වසන්තා සන්දනායක යසෝදරාවගේ කෝණයෙන් අසන්නේ සිදුහත් කුමරාගෙනි. ``නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ.. දැනුනා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ`` කියද්දී, ``බුදු අම්මෝ.. මෙන්න අභිනිශ්ක්‍රමණයට පැනල යාම කියනාවෝ.. ඇහැරුනා නම් බුදු වෙන්න යන්න දෙන්නෙ නෑ කියනවෝ`` කියා කිසිවකු කෑ ගැසුවේ නැත. 

සාහිත්‍ය භාෂාව පොඩ්ඩකට පැත්තකින් තියමු. සාමාන්‍ය ජනයාගේ බස් වහර ඉතාම  විවෘතය. ගුටියක් වදිනකොට අම්මෝ කියයි. හයියෙන් වදිනකොට බුදු අම්මෝ කියයි. වචන යනු වචනය. වැදගත් වන්නේ අරුතය. පච්චයක් කොටනකොට අම්මා බුදු වේවා කියා කොටයි. කාන්තාවන්ට බුදුවෙන්න බැරිය කියා එකක් - තිබේ ඒ නිසා අම්මා බුදු වේවා යන්න බුද්ධත්වයට කරන අපහාසයකි කියා කලබල විය හැකිද ? මෝඩකමක් කළ විට ගොන් වහන්සේ කියා කිව්වත් කිසිදු වහන්සේ නමක් කලබල නොවන සේක. එසේ වුවහොත් උන්වහන්සේලා අතර වෙනසක් නැත.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියා කියමනක් කාලයක් තිස්සේ අප අසා ඇත. ඒ කියමන හාමුදුරුවරුන්ට කරන ලද අපහාසයක් ලෙස නොසැලකෙන්නේ එක ම වචනය වුවත් අර්ථය වෙනස් බව බුද්ධිමත් සමාජය දන්නා නිසාය. කවුරුන් හෝ හාමුදුරු කෙනෙක් මේ අර්ථ පටලවාගෙන, භාෂාවේ `බඩු`වලට `නඩු` දාන්නට හදනවානම්, එය, සමාජ බුද්ධිය `කුඩු` වෙන දිශාවට තබන පියවරක් නොවේද ?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න