ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, සහ කුමාර වෙල්ගම යන නම් පහ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස යෝජනා වි තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.
අනිද්දා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඈත්තේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒ අතරින් අපේක්ෂකයෙකු තෝරාගනීමට නියමිත බවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් තීන්දුව ගනු ඇති බවත්, එතෙක් අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡාව අභ්‍යන්තර වශයෙන් සිදුකිරීමට එකඟ වී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන තෙක් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකර සිටීමට හේතුව වන්නේ ජනාධිපතිවරණයට තවත් මාස 15 ක් ඉතිරිව තිබෙන නිසා බව ඔහු කීයා සිටියි.
මේ වන විට අපේක්ෂකයන් පස්දෙනා පිළිබඳව කරුණු ඉදිරිපත්ව තිබෙන බවත්, ඒවා සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ මහතා ගන්නා තීන්දුවක් පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සූදානමින් සිටින බවත් ඔහු පවසයි.
පොහොට්ටුව තුළ නාමල් උඩට : ඒකාබද්ධ නායකයින් කනස්සල්ලෙන්
එසේම, 'අනිද්දා' තවත් පුවතකින් වාර්තා කර ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරය පිටුපස නායකයා සේ කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට එම ස්ථානය හිටපු ජනපති රාජපක්ෂගේ නියමයෙන් නාමල් රාජපක්ෂයට හිමිවී ඇති බවයි.
මේ අනුව ඉදිරියේදී කොළඹ දී පැවැත්වීමට ඒකාබද්ධයේ ජනරැළියේ සංවිධාන කටයුතු නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු තරුණ පෙරමුණ යටතට පත් කර ඇත.
ඒ පිළිබව මහින්ද රාජපක්ෂ මහතා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන්ට කතාකර නාමල් රාජපක්ෂ මහතාට සහාය දෙන්නැයි පවසා ඇති බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
මෙම තීරණයත් සමග පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ ප්‍රධාන කථිකයා වෙමින් බොහෝ ආසන තුළ පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් අමතා ඇත. ඒ මෙම කොළඹ රැළිය තේමා කරගනිමින්ය.
ඉන්පසු ඔහු අගෝස්තු 20 වැනිදා ෆේස්බුක් සමාජ ජාලයේ සිය ගිනුම උපයෝගීකරගනිමින් ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ඇත. ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය තුළ නාමල් රාජපක්ෂ මහතාට මේ දිනවල වැඩි ඉඩක් වෙන් වන්නේ ඔහුගේ මෙම නව ආගමනය නිසාය.
මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම තීරණයත් සමග නාමල් රාජපක්ෂ මහතාට හිතවත් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් වන ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, කනක හේරත්, දිලුම් අමුණුගම, ඩීවී චානක, රොෂාන් රණසිංහ, පියල් නිශාන්ත වැනි මන්ත්‍රීවරුන්ගේ සහ නාමල් රාජපක්ෂ මහතාට හිතවත් පළාත් පාළන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංවිධාන කටයුතු සිදුවේ.
මෙම තත්වය මත ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු තුළ දැඩි කළකිරීමක් ඇති වී තිබෙන බවත් ඒ නිසා ඔවුන් සිටින්නේ දැඩි නොසතුටෙන් බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

