"මම නිර්මාණ වාරණය කිරීම ගැන විශ්වාස කරන්නේ නෑ. අපිට අකමැති දෙයක්, ඒ වගේම එකග නොවන දෙයක් හෝ අපේ රසඥතාවයෙන් පිට දෙයක් ගැන කලාකරුවෙක් නිර්මාණයක් කලාම ඒක තහනම් කරලා, ඒකට විරුද්ධව විවිධ අවලාද කියලා කලාකරුවන්ගේ නිර්මාණවලට සීමා පණවන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ" යනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ 2018 අගෝස්තු 23 දින අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත සභාත කිරීම සහ සුරාබදු අඥා පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා , අපි රජයක් විදිහට කලාකරුවන්ගේ නිර්මාණශීලී නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. 2015 අලුත් ආණ්ඩුව පිහිටවනකොට මේ රටේ කලාකරුවන්, නිදහස් පුරවැසියන් වගේම සිවිල් සමාජය විශාල අර්බුදකාරී වාතාවරනයකට ලක් වෙලා හිටියා. ඔවුන් වෙත විශාල භීෂණයක් මුදා හැරලා ඔවුන්ගේ නිර්මාණ කිරීමේ නිදහස දැඩි විදිහකට අහුරලා තමන්ගේ නිර්මාණ සමාජගත කිරීම වලක්වාලමින් තිබුණා. අපිට මතකයි කලාකරුවන් එක්කහු වෙලා අලුත් පරපුර නමින් ගමින් ගමට යමින් ජනතාව වෙත තමන්ගේ විරෝධතාවයන් දක්වද්දී පහුගිය රජය මැරවරයෝ දාලා ඔවුන්ට පහරදුන්නා. මේ අය අතරේ ලංකාවේ ප්‍රවීන සංගීතඥයින්, නලු නිලියන් වගේම අධ්‍යක්ෂවරුන් ඇතුලු කලාකරුවන් රැසක් හිටියා.
මැරයන් කලාකරුවන්ට පහරදෙන විට රාජපක්ෂලා කරපු දේ
එදා ඒ අයට පහර දෙද්දී රටේ නායකයෝවත් , පොලීසියවත් නීතිය ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ නෑ. ඇත්තටම රටේ තිබුණේ ප්‍රාදේශීය මැරවරයන්ගේ පාලනයක්. ඒ කලාකාරුවන් වගේම් සිවිල් සමාජ ක්‍රියාකාරකයන් එදා එකට එක්කහුවෙලා රටේ ඇතිවෙමින් තිබ්බ ඒ මැර පාලන බලයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට විරුද්ධත්වය ප්‍රකාශ කලා. අපිට මතකයි ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතාට ගීතයක් කියපු වෙලාවක රාජපක්ෂ දේශපාලන මැරයෝ පහරදුන්නා.
2015 වෙනස
ඒ තත්වය 2015න් පස්සේ අපේ ආණ්ඩුව යටතේ සම්පූර්ණයෙන් වෙනස් වුනා. දැන් කලාකරුවන්ට, නිර්මාණකරුවන්ට රට තුල විශාල නිදහසක් හිමිවෙලා තියෙනවා. ඔවුන්ට භීෂණයට, මැර බලයට යටවෙලා ඉන්න තත්වය නැතිවෙලා රටේ නීති, රීති පද්දතිය ඇතුලේ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න අවශ්‍ය පරිසරය සකස් වෙලා තියෙනවා.
කලාකරුවන්ට බදු සහන
මෑතකදි කලාරුවන් අපිට කියා සිටියා ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් ලැබෙන අදායම් වලදී යම් බදු ගෙවීම් පිළිඹදව අපහසුතාවයන් ඇතිවෙලා තියෙනවා කියලා. ඇත්තෙන්ම අලුත් දේශීය ආදායම් පනත අප්‍රේල් මාසේ ක්‍රියාත්මක වෙනකොට නිර්මාණකරුවන් වෙත ලැබෙන ආදායමෙන් ලබාගන්නා බද්ද කලින් තිබුනට වඩා 4% ක විතර වැඩි වීමකක් සිදුවෙලා තිබුණා. අපි අද වෙනකොට ඒ සම්භන්ධයෙන් ඉක්මන් සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය විකාශණය කිරීමේදී සිදුකරන බදු ගෙවීම සම්භන්ධයෙන් යම් අපහසුතාවයන් ඇති බව කලාකරුවන් පිරිසක් අපි සමග කතා බහ කලා. අපි ඔවුන් වෙනුවෙනුත් විශාල බදු නිදහසක් ලබා දීමට වහාම පියවර ගත්තා. මේ හැම දේකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ නිර්මාණශීලී කලාකරුවන්ටත්, ඔවුන්ගේ නිර්මාණ රසවිදින රසික ජනතාවටත් වඩා උසස් කලාත්මක වගේම සෞන්දර්යාත්මක පරිසරයක් උරුමකර දීමයි.
උසස් රසවින්දනයක් සහිත ජනතාවක් වෙනුවෙන්
උසස් රසවින්දනයක් සහිත ජනතාවක් සිටින රටක කලාත්මක අතින් උසස් නිර්මාණ සදහා ඇති ඉල්ලුම ඉහල යනවා. අපේ වර්තමාන ප්‍රතිපත්තිය වෙන්නේ එවැනි උසස් නිර්මාණ දිරිගන්වමින් වඩාත් බුද්ධිමත් සමාජය් බිහිකර ගැනීමයි. එතුලින් සංස්කෘතික පුරවැසියා බිහිකර ගැනීම හරහා සතුටින් ජීවත්වෙන මිනිසුන් සිටින උසස් සමාජයක් බිහිවෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ITN නාලිකාව තුල අපි උසස් තත්වයේ ටෙලි නාට්‍ය විකාශණය කිරීමේ වැඩපිළවෙලක් පටන් ගත්තා. අවුරුදු ගණනාවක් පසුගාමී තත්වයක තිබුන ඔවුන්ගේ නිර්මාණ අංශය දැන විශාල දියුණුවකට පත් වෙලා විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ, ජාතික සම්මාන දිනාගත්ත කූඹියෝ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න ඔවුන්ට හැකි වුණා.
කලා කෘති වාරණයට විරුද්ධයි !
මම නිර්මාණ වාරණය කිරීම ගැන විශ්වාස කරන්නේ නෑ. අපිට අකමැති දෙයක්, ඒ වගේම එකග නොවන දෙයක් හෝ අපේ රසඥතාවයෙන් පිට දෙයක් ගැන කලාකරුවෙක් නිර්මාණයක් කලාම ඒක තහනම් කරලා, ඒකට විරුද්ධව විවිධ අවලාද කියලා කලාකරුවන්ගේ නිර්මාණවලට සීමා පණවන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. අපි ඒ සදහා යම්කිසි දියුණු ක්‍රමවේදයක් හදාගන්න ඕන. නැත්තම් එක එක්කෙනා කියන පලියට හිතුමතේ කලාකරුවන්ට සීමා බන්ධන පණවන්න ගියොත් අපේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල තියන ප්‍රකාශනයේ නිදහස විශාල අභියෝගයකට ලක් වෙන්න පුලුවන්.

