දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි - පාඨලී 

දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි - පාඨලී 

බඩවල් කෝටි දෙකක් ගැන කතා කරනවාට වඩා, මොළවල් කෝටි දෙකකින් මේ රට ගොඩනගන නවෝත්පාදනයේ නව මාවතට රට ගෙන යා යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ පසුගියදා රුපියල් මිලියන 78 ක වියදමින් ඉදිකරන ලද මහව බස්නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අද අපේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලතල දරණ අය ගත්තත්, රජයේ ආයතනවල, පුද්ගලික අංශයේ, ආරක්‍ෂක අංශවල මෙන්ම ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ ඉහළ නිලතල දරණ අය ගත්තත්, ඒ හැම කෙනෙක්ම රත්තරන් හැන්ද කටේ දමාගෙන ප‍්‍රභූ පවුලක ලොකු ඉස්කෝලෙක ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබලා උඩට ආපු අය නෙමෙයි. මේ හැමෝම පොඩිකාලේ බස් එකේ බැටරි පෙට්ටිය උඩ වාඩිවෙලා ගිය පිරිමි ළමයි, කුඩයක්වත් නැතිව දුක් විඳගෙන දහඩියේ ඉගෙන ගත්තු ගැහුණු දරුවෝ තමයි අද මේ රටේ සෑම රාජ්‍ය ආයතනයකම ඉහළ පුටුවල ඉන්නේ. ඒක අපේ රටේ ආඩම්බරයක්. වෙන රටවල්වල කාන්තාවෝ වීම නිසා රස්සාවෙන් එළියට, පාසලෙන් එළියට වැටෙනවා.  නමුත් අද අපේ රටේ සෑම ඉහළ පුටුවකටම එම වෙනස වෙලා තිබෙනවා. මේ රටේ ඉංග‍්‍රීසි උගත් ප‍්‍රභූ පන්තියට තිබූ තැන අද ගම්බද අපේ දරුවන්ට ලැබී තිබීම ගැන අපි ආඩම්බරයි. මේ රටේ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ මුල් පස්දෙනාම රත‍්‍රන් හැන්ද කටේ තියාගෙන ආපු ප‍්‍රභූ පවුල්වල අය නෙමෙයි. ඒ අය සියළු දෙනාම ඉතාම ස්වෝත්සාහයෙන්, මහන්සියෙන් මේ ගමෙන් උඩට ආපු මිනිස්සු. ආරක්‍ෂක අංශවල ජයග‍්‍රහනයන් ලබාගත්තේ සැන්ග්හර්ස් ගිය කට්ටිය නෙමෙයි, කුරුණෑගලින්, ගල්ගමුවෙන් බිහිවෙච්ච අය ගිහිල්ලා තමයි මේ රට ත‍්‍රස්තවාදයෙන් මුදවා ගත්තේ. ඒ නිසා මේ රටේ අනාගතයත් බාර දෙනවා නම් භාර දිය යුත්තේ අනාගතයේ, අපේ රටේ වූ විපරීතය තමයි ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන්, ඒ වගේම පෞද්ගලික අංශයේ මේ හැම පැත්තෙම ප‍්‍රභූ පන්තිය සතුව තිබූ ඒ බලය කි‍්‍රයා කාරී දක්ෂ, පක්ෂ ගමේ මිනිසුන්ට අත්පත් වුණා. හැබැයි දේශපාලනයේදී එය සිදු වුණේ නැහැ. ඒක තමයි මේ රටේ වෙච්ච දේ, ප‍්‍රභූ පන්තියෙන් මෙය පාදඩයින් අතට ගියා. කණගාටුවෙන් වුවත් කිව යුතුයි.

ලෝකයේ ඉහළට ගිය අය කවුද?

එනිසා නැවත වතාවක් මේ දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ වෙනසක් විප්ලවකාරී පරිවර්ථනයක් රටට අවශ්‍යයි. රටේ ගම්බද ළමයි පහේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා මෙරට විතරක් නෙමෙයි ලෝකය පුරාම මෙහෙවර කරන්න තරම් ශක්තිමත් නම් ඒ අයගේ දරුවන්ට අනාගතයේ මේ රට පාලනය කිරීමේ ශක්තියක් ලැබිය යුතුයි මිත‍්‍රවරුනි. මේ හැම ගමටම අද විදුලිය, දුරකතනය, අන්තර්ජාලය ඇවිත් තිබෙනවා, හැම ගමක්ම අද විශ්වයට විවෘත වෙලා තිබෙනවා. මේ ලෝකයත් අද එහෙමයි. රත්තරන් හැන්ද කටේ තියාගෙන ගත්ත මිනිසුන් නෙමෙයි අද ලෝකයේ ඉහළට ගොස් තිබෙන්නේ. අපි ගත්තොත් මේ ලෝකයේ අද තිබෙන බලගතුම ව්‍යාපාර හැම එකම තමන්ගේ ඥානය මගින්, මිනිස් මොළය මගින් මෙහෙයවපු අය. අපේ දේශපාලනයේත්, අපේ පාසලෙත් අපට හැමදාම කිව්වේ කෝටි දෙකක් මිනිසුන් ඉන්නවා. උන්ගේ බඩවල් ගැන තමයි අපි හැමෝම කතා කරන්නේ. දුගී දුප්පත් ජනතාවගේ බඩ ගැන තමයි අපි හැමදාම කතා කරන්නේ. බඩට තමයි ඇට 8 යි, හාල් සේරු එකහාමාරයි ඔක්කොම අපට පොරොන්දු දුන්නේ.

පරණ සටන් පාඨ

මට මතකයි මම පොඩිකාලේ අම්මත් එක්ක මොන්ටිසෝරි යනකොට, මුලින්ම දේශපාලන සටන් පාඨය ඇහුනේ අපේ අම්මා ළඟ එනවා, හාල් සේරු දෙක දෙනවා.’ සිරිමාවෝ මැතිණිය 1970 දි බඩට කතා කළේ. නමුත් අපි මතක තබා ගත යුතුයි බඩවල් කෝටි දෙකක් නෙමෙයි මේ රටේ තිබෙන්නේ හොඳ මොළවල් කෝටි දෙකක් අපට තිබෙනවා. ඒ මොළවලට තමයි ලෝකය අද විවෘත වෙලා තිබෙන්නේ මිත‍්‍රවරුණි. අද ලෝකයේ විශාලතම ෆේස් බුක් ව්‍යාපාරයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් ගත්තහම, ඒ මොළේ පොඩි නිර්මාණයකින් ලෝකය ජය අරගෙන තිබෙනවා. ගූගල් එක ගත්තහම සර්ජි ඒ මොලෙන් ලෝකය ජය අරගෙන තිබෙනවා. අපේ රටෙත් අපේ පාසල් දරුවන්ගේ සිට ලෝකය ජය ගන්න ඒ මාවත තිබෙනවා. දේශපාලනය කරන්න ගොස් මේ රටේ අපේ දරුවෝ පාරවල්වල මැරුණා.  හෙටත් අපේ දරුවෝ පාරවල්වල මැරිය යුතු නැහැ. ගමේ අපේ දරුවන්ට, ප‍්‍රභූ පන්තියට විතරක් උරුමව තිබෙන මේ රටේ දේශපාලනයේ දොර කවුලූ විවෘත කර දෙන්න මේ රටේ ව්‍යාපාරික ලෝකයේ, රාජ්‍ය අංශයේ සහ අනෙකුත් සෑම ක්‍ෂෙත‍්‍රයේම ඇතිවූ විප්ලවීය පරිවර්ථනය පාර්ලිමේන්තුවෙත් පළාත් සභාවේත්, ප‍්‍රාදේශීය සභාවෙත් ගෙන එන්න යම් කි‍්‍රයාදාමයක්, පොඩි හරි මෙහෙවරක් අපට කරන්න පුළුවන් නම් ඒ මෙහෙවර කරන්න අපි කැපවිය යුතුයි. එනිසා බඩවල් කෝටි දෙකක් ගැන, දුප්පත් කමේ ප‍්‍රශ්න ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ මොලවල් කෝටි දෙකකින් මේ රට ගොඩනගන නවෝත්පාදනයේ නව මාවතට රට ගෙනයන්න අපි සියළු දෙනාම ඉදිරි කාලයේදී අධිෂ්ඨානයෙන් කටයුතු කරමු, ගම් උදාවෙන් ඔබ්බට, නගර උදාවටත් වගේම ලෝකය ජය ගන්න පුළුවන් විශ්ව උදාවකටත් රට ගෙනයන්න ඔබ සියළු දෙනාටමත්, ඔබේ දරුවන්ටත් වාසනාව උදාවේවා යයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න