20/2018 චක‍්‍රලේඛයෙන් රජයේ සේවකයන්ට වැඩි කළ සංයුක්ත දීමනාව සේවාස්ථානයෙන් බැහැර රාජකාරි සඳහා ගුරුවරුන්ට නොගෙවීම බරපතල අසාධාරණයක් බව ලංකා ගුරු සංගමය පවසයි.
රජයේ නිලධාරීන් විසින් සේවාස්ථානයෙන් බැහැරව සිදු කරන රාජකාරි සඳහා සංයුක්ත දීමනා ගෙවීම සිදු කරනු ලබන අතර, 2018.08.21 දින නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 20/2018 මගින් එම සංයුක්ත දීමනාව වැඩිකර තිබේ. ඒ අනුව රු.33,799/- දක්වා වැටුප් ලබන නිලධාරීන්ට සංයුක්ත දීමනාව රු.700/- දක්වා ද, රු.32,780/- සිට රු.43,479/- දක්වා වැටුප් ලබන නිලධාරීන්ට සංයුක්ත දීමනාව රු.800/- ක් දක්වා ද, රු.43,480/- ට ඉහළ වැටුප් ලබන නිලධාරීන්ට සංයුක්ත දීමනාව රු.1000/- ක් දක්වා ද වැඩි කර තිබේ.
එහෙත් ගුරුවරුන් පාසලෙන් පරිබාහිරව සිදුකරන සේවා සඳහා දීමනාවක් නොගෙවන තත්වයක් පවතින බව එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙයි.
රාජ්‍ය සේවයේ සෙසු නිලධාරීන්ට ලැබෙන මෙම වරප‍්‍රසාදය ගුරුවරුන්ට අහිමි වීම බරපතල අසාධාරණයක් බවත්, ගුරුවන්ට අදාළ සේවාස්ථානයෙන් බැහැර කටයුතුවල ප‍්‍රධාන කාර්යයක් වන්නේ සේවා සැසිවලට සහභාගි වීම බවත්, සේවාස්ථ සැසි සඳහා සහභාගි වීමට අදාළ සංයුක්ත දීමනාව ගෙවිය යුතු බව ලංකා ගුරු සංගමය වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කර ඇති බවත් හෙතෙම සදහන් කරයි.
නමුත් ඒ වෙනුවට සිදු වන්නේ රු.200/-, රු.300/- ක් වැනි සොච්චම් මුදලක් ලබාදීම හෝ විවිධ හේතු ඉදිරිපත් කරමින් කිසිදු දීමනාවක් ලබා නොදීම වන අතර, මේ නිසාම සේවාස්ථ සැසිවල ගුණාත්මක භාවය බරපතල ලෙස පිරිහී ඇති අතර, ගුරුවරුන්ගේ සහභාගීත්වය ද අවම වී ඇති බවද ඔහු පවසයි.
මේ තත්වය තුළ රජයේ අනෙකුත් නිලධාරීන්ට ගෙවන සංයුක්ත දීමනාව ගුරුවරුන්ට ද ලබාදෙන ලෙසත්, එම දීමනාව 2018.08.21 දින නිකුත් කළ 20/2018 චක‍්‍රලේඛයට සාපේක්ෂව ගෙවන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පවසයි.

