මෙක්සිකෝ ගමන විදේශ අමාත්‍යාංශයට හොරෙන් !

මෙක්සිකෝ ගමන විදේශ අමාත්‍යාංශයට හොරෙන් !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මෙක්සිකෝවේ නිදහස් උත්සවය සඳහා නිල සංචාරයක නිරත වන බව ඔහුගේ කාර්යාලය මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ කිසිම තොරතුරක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නොමැති බව වාර්තා වන බව අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මේ පිළිබඳ අප කළ විමසුමක දී විදේශ අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු පැවසුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ එම සංචාරය පිළිබඳ කිසිදු දැනුම් දීමක් තම අමාත්‍යංශයට කර නැති බවය. සාමාන්‍ය යෙන් සිදු කෙරෙන්නේ නිල සංචාර සඳහා විදේශගත වීමෙන් ඊට අදාළ වීසා ලබා ගැනීම ඇතුළු පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර එම කටයුතු සිදුකර ගැනීමය. සැප්තැම්බර් 10 දින කට උත්තරයක් ලබා ගැනීම සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කැඳවා තිබුණු අතර එදින ඔහු කිසිදු දැනුම් දීමකින් තොරව මෙක්සිකෝව බලා පිටත්ව ගොස් තිබේ.
 
නැවත ඔහු සැප්තැම්බර් 19 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවිමට නියමිත බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
 
රජයේ නිවේදනය මෙන්න 

නමුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විදෙස්ගතවීම සම්බන්ධව  මීට මුළුමනින්ම  වෙනස් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර එය පහත පළවේ.

පසුගිය දිනවල විපක්ෂය සහ ඔවුන්ගේ මතය සමාජගත කිරීමේ කාර්ය ඉටුකරමින් සිටින විවිධ පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා ‘‘ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරයකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක්“ පිළිබඳ දැඩි ප්‍රචාරයක් ලබාදෙමින් මේ රජය රණවිරුන් දඩයම් කරන බවට මතයක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්බව දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළයුතුව ඇත. මන්ද අප රජය පත්වූ දා සිට මේ දක්වා ආරක්ෂක අංශවලට හෝ එහි නිලයන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ අයුතු චෝදනාවක් හෝ සිදු කොට නොමැති පසුබිමක් තුළ අප රජයට එල්ලවන මේ චෝදනාව බලපතල සහ සම්පූර්ණ සාවද්‍ය එකක් වන බැවිනි.

2009 මැයි 28 දින එවකට නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක් අනුව එදා හිටපු පොලිස්පතිවරයාගේ නියෝගය මත 2009 සැප්තැම්බර් 10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එම පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමේ දී හෙළිදරව් වූ කරුණු අනුව කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බව අනාවරණය වී තිබුණි.

මෙම පරීක්ෂණය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ය. නමුත් සිය පාලනයට අවාසිදායක යැයි හැඟෙන ඇතැම් කරුණු හෙළිදරව් වීමේ පසුබිම තුළ පරීක්ෂණ කටයුතු ක්‍රමයෙන් අක්‍රීය කිරීමට එදා පාලකයන් පසුබට නොවූණි.  එවැනි පසුබිමක් තුළ ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ දී මෙම අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳ බරපතළ කතිකාවක් නිර්මාණය විය.

ඒ අනුව  නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවට එදා පැවැති රජය ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දුවක් ලබාදුන්නේය. එකී පොරොන්දු ප්‍රකාරව 2014 අප්‍රේල් මස නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.
 
ඒ අනුව අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශණ කටයුතු සිදුකිරීමේ දී එහි ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ, නාවුක හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හා ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් යන අයවලුන්ය.

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර ඇති නමුත් නේවි සම්පත් යන අය පසුගිය කාලය පුරා අධිකරණය මගහැර සිටියේය. ඔහු 2018 අගෝස්තු 13 දින අත්අඩංගුවට ගන්නා ලදී.

නේවි සම්පත් යන අයට අධිකරණය මගහැර සිටීමට සහ/හෝ අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ඔහුට රැකවරණය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතාට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018./09/02  දාතම ලිපියක් මගින් දැනුම් දී තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට සුදානමක් පවතින බවය. එවැනි කිසිදු සුදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිබුණි.

සත්‍ය කරුණු වසන්කර බොරුව සමාජගත කරමින් මිනිසුන් මුලා කිරීම නතර විය යුතු බව අප දැඩිලෙස විශ්වාස කරමු.

පුද්ගලයන් 11 දෙනා පැහැරගැනීමේ විමර්ශනය 2009 සැප්තැම්බර් මස 10 දින ආරම්භ කළ පරීක්ෂණයක් බවත්, වත්මන් ආණ්ඩුව ආරම්භ කළ පරීක්ෂණයක් නොවන බවත් සිහිකැඳවිය යුතුය. එසේ තිබියදී එම පරීක්ෂණයේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතාගෙන් කරුණු විමසීමක් සිදුකිරීම රණවිරු දඩයමක් වන්නේ කෙසේදැයි විමසිය යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න