රවීට නාවික හමුදාවෙන් සෙබළු 126යි, වාහන 19යි !

රවීට නාවික හමුදාවෙන් සෙබළු 126යි, වාහන 19යි !

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට කට උත්තරයක් ලබා දීම මගහැර මෙක්සිකෝවට ගොස් සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඔහුගේ කටයුතු සඳහා නාවික හමුදා සාමාජිකයන් 126 දෙනකු හා නාවික හමුදා රථ 19 ක් භාවිතා කරන බව වාර්තා වේ.

එම නාවික හමුදා සාමාජිකයින්ගෙන් බහුතරයක් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වශයෙන් යොදාගෙන ඇති අතර එම සංඛ්‍යාව 86කි. ප්‍රවාහන සංචිතය වශයෙන් යොදාගෙන ඇති සංඛ්‍යාව 29කි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කටයුතු සඳහා ඉතිරි අය යොදාගෙන ඇති අතර ඉන් 3 දෙනකු එහි මාධ්‍ය අංශය සඳහා යොදාගෙන ඇත. තවත් 3 දෙනකු තොරතුරු තාක්ෂණ අංශය සඳහා යොදාගෙන ඇත. ඉතිරි පිරිස එහි අනෙකුත් කටයුතු සඳහා යොදාගෙන ඇත.

නාවික හමුදාවෙන් ලබාගෙන ඇති වාහන 19 අතර කාර්, ඩබල් කැබ්, කැබ්, වෑන්, ජීප්, ත්‍රීවිල් හා මෝටර් සයිකල් යන වාහන වේ. මේ වාහනවලින් වාහන දෙකක් ඔහුගේ බිරිඳගේ හා පුතාගේ පරිහරණයට ලබා දී ඇත.

මීට අමතරව නාවික හමුදාපති සමයේ ඔහු භාවිතා කළ නාවික හමුදා මූලස්ථානයේ මහල් ගොඩනැගිල්ල ඔහුගේ නිවාස අවශ්‍යතා සඳහා තවමත් භාවිතා කරන අතර ඔහුගේ වාහන නැවැත්වීම සඳහාද නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම අසල චෛත්‍ය ප්‍රදේශයේ ස්ථාන වෙන් කරගෙන තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාල වෙබ් අඩබිය අනුව ඔහුත් ඇතුළු එහි සංවිධාන ව්‍යූහය වශයෙන් පුද්ගලයන් 38 දෙනකුගේ සටහනක් පෙන්නුම් කෙරේ. ඒ අය අතර හිටපු හෝ වත්මන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් පුද්ගලයන් ද සිටින බව පෙනේ.

2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාල පනත අනුව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ විධානය අධීක්ෂණය හා පාලනය යටතේ ඔහු කටයුතු කළ යුතු අතර සන්නද්ධ හමුදා සාමාජිකයන් එම කාර්යාලය කටයුතු සඳහා යොදාගන්නේ නම් ආරක්ෂක අමාත්‍යංශ ලෙකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් විමසා එය සිදු කළ යුතුය.

නාවික හමුදා සාමාජිකයන් 126 දෙනකු එහි වාහන 19 ක් නාවික හමුදා මූලස්ථානයේ නවාතැන් ඇතුළු පහසුකම් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ලබා දී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාරගෙන් අප විමසූ අතර ඒ පිළිබඳව පසුව පිළිතුරු ලබා දෙන බව ඔහු පැවසුව ද පුවත්පත මුද්‍රණයට යන තෙක් ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න