ශීතකර තැබුණු කලලයකින් වසර විසිහතරකට පසු දරු උපතක්

ශීතකර තැබුණු කලලයකින් වසර විසිහතරකට පසු දරු උපතක්

වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තැබුණු මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

අයිවීඑෆ් තාක්ෂණය (නල දරු උපත්) ආරම්භ වීමෙන් පසු පිළිසිඳ ගැනීම සහ මෙලොව දැකීම අතර වැඩිම කාල පරතරයක් සහිත දරු උපත මෙය විය හැක.

එමා නමැති බිළිඳිය පිළිසිඳ ගෙන ඇත්තේ ඇය ප්‍රසූත කළ මව, ටීනා උපත ලබා අවුරුදු එක හමාරකට පසුවය.

බිළිඳියට අයත් මූලික අවස්ථාවේ කලලය ප්‍රදානය කරනු ලැබ ඇත්තේ ඇමරිකානු යුවලක් විසිනි.

ශීතකර තබා ගත් එම කලලයෙන්, මේ වසරේ නොවැම්බර් මාසයේ දී එමා ව්රෙන් ගිබ්සන් මෙලොව දුටුවාය. ඇය නිරෝගී සුවයෙන් පසු වන්නීය.

මූලික අවස්ථාවේ කලලය මව ටීනා ගිබ්සන්ගේ ගර්භාශයේ තැන්පත් කරනු ලැබ ඇත්තේ මාර්තු මාසයේදීය.

"හිම බිළිඳුන්"
"එතකොට මට අවුරුදු විසි පහයි, මේ කලලය සහ මම හොඳම යාළුවෝ වෙන්නත් ඉඩ තිබුණා" යනුවෙන් මේ වනවිට විසි හය වෙනි වියේ පසුවන ගිබ්සන් සීඑන්එන් නාලිකාව වෙත පැවසුවාය.

"මට ඕන කළේ දරුවෙකු පමණයි. ඒක ලෝක වාර්තාවක් ද නැද්ද කියන දේ මට වැදගත් නැහැ" යනුවෙන් ටෙනසි නගරයේ වෙසෙන ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මූලික අවස්ථාවේ කලලය ගිබ්සන් යුවල වෙත සපයනු ලැබ ඇත්තේ විශ්වාස මත පදනම් වූ ආයතනයක් වන ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය විසිනි.

ඒ ආකාරයේ කලල දීර්ඝ කාලයක් අධි ශීතකරණයක තබන බැවින් එහි වෛද්‍යවරුන් විසින් එම කලල හඳුන්වනු ලබන්නේ "හිම බිළිඳුන්" ලෙසිනි.

"මිහිරි ප්‍රාතිහාර්යක්"
තමන්ට අවශ්‍ය නොමැති මූලික අවස්ථාවේ කලල ප්‍රදානය කිරීම සඳහා ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය පවුල සම්පූර්ණ වූ තවත් දරුවන් බලාපොරොත්තු නොවන දෙමව්පියන් දිරි ගන්වයි.

වෙනත් යුවලකට දෙමව්පියන් වීම සඳහා අවස්ථාවක් ලබා දීම එහි අරමුණය. ටීනා ගිබ්සන්ගේ සැමියාගේ සරුභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව හඳුනා ගනු ලැබ ඇත.

අවුරුදු විසි හතරක් වයසැති කලලය වෙනත් කිසිදු ජීවී මිනිස් කලලයකට වැඩි කාලයක් ශීතකර තබා ඇති බව විශ්වාස කෙරේ.

"එමා ඉතාමත් මිහිරි ප්‍රාතිහාර්යක්" යනුවෙන් පියා ගිබ්සන් පවසයි.

"මෙතරම් කාලයක් අධි ශීතකරණයක හිටියත් මට පෙන විදියට එයා හරිම සාමාන්‍ය දැරියක්" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමාගේ දෙමව්පියන්ගෙන් කිසිවකුත් ඇයගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් නොවේ.

BBC 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න