ඩොලරයේ අගය ඉහළ යාමට සාර්ථකව මුහුණ දෙනවා - අගමැති 

ඩොලරයේ අගය ඉහළ යාමට සාර්ථකව මුහුණ දෙනවා - අගමැති 

පසුගිය වසර කිහිපය තුල ආණ්ඩුව අර්බූද ගණනාවකට මුහුණදී ඉදිරියට පැමිණියා සේ ඩොලරයේ අගය ඉහල යාමෙන් උද්ගතව තිබෙන අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අද (22) නාත්තන්ඩියේදී පැවසීය.

ඩොලරයේ අගය ඉහල යාම රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් බලපා තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ නාත්තන්ඩිය ලුර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙම රැස්වීමට අමතරව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද නාරවිල ශ්‍රී ගුණරතන විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරිම, නාත්තන්ඩිය වලහපිටිය මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ නාත්තන්ඩිය, පිලාකටුමුල්ල,ශ්‍රී පුෂ්පාරාම විහාරයේ ගෞරව ශාස්ත්‍රවේදී අස්මධාචාර්යෝත්තම පුජ්‍යපාද හාල්දඬුවන පඤ්ඤාසෝමාභිධාන නාහිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට ද අග්‍රමාත්‍යවරයා සහභාගි විය.

නාත්තන්ඩිය ලූර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් තිබුණත් අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන මුදල් අඩුකිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

ගෝලීය ආර්ථික අර්බූදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුය. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ වටිනාකම අඩු වුණා. ඒ නිසා ඇමරිකානු කොටස් වෙළඳපොළ ආයෝජකයින් සහ අනෙකුත් ආයෝජකයින් සිය මුදල් තමන්ගේ රටවලට ගෙන ගියා. නමුත් දැන් එය වෙනස් තත්වයකට පත්ව තිබෙනවා.

වර්තමානය වන විට ඇමරිකාවේ කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ වැඩිවී තිබෙනවා. ඒවගේම සීඝ්‍ර දියුණුවක් ඇතිවී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනතාවට සහන දුන් නිසා වැඩි වැඩියෙන් මුදල් බඩු භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් වැය කරනවා. මේ තත්වය මත එරට සමාගම්වල ලාභය තවත් වැඩි වෙනවා. එපමණක් නොවෙයි. මෙතෙක් කල් ඇමරිකානු මහ බැංකුව අඩු පොලියට ණය ලබාදුන්නත් පසුගිය කාලයේ දෙවතාවක් පොළිය වැඩිකර තිබෙනවා.

මෙහි ප්‍රතිඵලය කුමක්ද? ඇමරිකාවේ කොටස් වෙළෙදපොලේ සහ එරට ව්‍යාපාරවල මීට වඩා ලාභ තිබෙන නිසා අපේ රටේ සිටින ව්‍යාපාරිකයින් තමන්ගේ මුදල් දැන් ඇමරිකාවට ගෙන යනවා.

මේ නිසා අපේ රටවල් සෑම එකකම තිබෙන ඩොලර් සංචිත අඩු වෙනවා. ඩොලර් සංචිතය අඩු වුණාම අපේ මුදල්වල අගය බාල්දු වෙනවා. මේ අර්බූදයට අද අපට මුහුණ දීමට සිදුව තිබෙන බව කිව යුතුයි.

මේ තත්වය අපේ රටට පමණක් නොව අනෙකුත් සෑම රටකටම බලපා තිබෙනවා. ඒ අනුව ඉතාලියේ යුරෝ එක 1.3 කින්ද එංගලන්තයේ පවුමක් 1.3කින්ද, ඕස්ට්‍රේලියාවේ ඩොලරය 6.5කින්ද ඉන්දුනිසියාවේ රුපියා 6.8කින්ද කොරියාවේ වොන් එක 4.5කින් ද, පිලිපිනයේ පීසෝ 7.5කින්ද සිංගප්පුරුවේ සහ මැලේසියාව 1.6කින්ද  ඉන්දියාවේ මුදලේ අගය 11% කින්ද අඩුවී තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමයි. එයට අපි සාර්ථකව මුහුණ දෙනවා. එයින් ඈත් වන්නේ හෝ පලා යන්නේ නැහැ.

අපේ රටේ තිබෙන්නේ අපනයන ආර්ථිකයක් නොවේ. අපි ණය ගන්නා ආර්ථිකයක් බව කිව යුතුයි. අද අපි මේ තත්වයට පත්ව තිබෙන්නේ ඒ නිසයි. අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි.

පසුගිය කාලයේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඉදිරියට පැමිණියා සේ උද්ගතව ඇති මේ අර්බූදයටද අප සාර්ථකව මුහුණ දෙනවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත  ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් රැසක් සහභාගිව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න