හිටපු ජනාධිපතිතුමන්ට, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්තුමන්ට හා රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් කුමන චෝදනා එල්ල කළත්, යුද්ධය මෙහෙයවූ දේශපාලන නායකත්වයට, රණවිරු නායකත්වයට හා රණවිරුවන්ට අත තබන්නට යහපාලන රජය කිසිවිටක ඉඩ ලබා නොදෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
පසුගිය රජය සමයේ රණවිරු ගම්මාන ඉදි කළද එම ගම්මාන වල ඉඩම්වලට පවා රණවිරුවන්ගෙන් මුදල් අයකළ බවත්, නමුත් යහපාලන රජයේ රණවිරු උදාගම්මාන වැඩපිළිවෙල තුළ නොමිලේ රණවිරුවන්ට ඉඩම් ලබා දී නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12 ක නිවාස ආධාර මුදලක්ද ලබා දීමට කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා යහපාලන රජය දේශද්‍රෝහී රජයක් බවට චෝදනා කරන විරුද්ධවාදීන් හා අප අතර වෙනස මෙයින් ජනතාවට මනාව පැහැදිළි වන බවත් සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සිරිබෝපුර ඉදිවන “සදා පූජිත ජෝන් කොතලාවල පුර” උදා ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (26) දින සහභාගී වෙමිණි.
‘සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1,298 වන ආදර්ශ ගම්මානය මෙය වේ. “සදා පූජිත ජෝන් කොතලාවල පුර” නිවාස 40 කින් සමන්විත වේ. එක් ප්‍රතිලාභි රණවිරු පවුලකට නොමිලේ ඉඩමක් සහ නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12 ක නිවාස අධාර මුදලක් හිමිවේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක සේවය යන අංශ නියෝජනය වන පරිදී රණවිරු පවුල් මෙහි ප්‍රතිලාභීන් ලෙස තොරාගෙන ඇත. පානීය ජලය, විදුලිය හා මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් සහිතව මෙම ගම්මානය ඉදිකිරීමට නියමිත වේ.

