විසර්ජන පනත් කෙටුම්පතට : අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

විසර්ජන පනත් කෙටුම්පතට : අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් පසුගියදා ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

එම පත්‍රිකාවට අනුව 2019 වසරේදී සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4376 ක් වන අතර, ලබන වසර සඳහා වන අයවැය පරතරය රුපියල්  බිලියන 644 ක් වන අතර  එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1% ක් වේ.

මේ සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
 
2014 වසරේදී දල දේශීය නිෂ්පාදිතයෙන්  11.5% ක්ව පැවැති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත්වූවායින් පසුව ක්‍රමිකව වැඩිකර ඇති අතර එය 2019 වන විට 15.1% ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
එමෙන්ම, වසර 63 කට පසුව 2017 දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් මුල්වරට වාර්තා වූ අතර, 2019 වසරේදී එම ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දල  දේශීය නිෂ්පාදිතයෙන්   1.3% කින් වර්ධනය වනු ඇතැයිද  අපේක්ෂා කෙරේ.
 
එසේම 2019 වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රු. බිලියන 2,057 ක් වෙන්කර තිබේ. 

මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් ණය ගෙවීම සඳහා දැරීමට සිදුවන විශාල මුදලකි. මෙම ණය අතරින් ලබන වසරේ දේශීය ණය වශයෙන් රු. බිලියන 1,271 ක් ගෙවිය යුතුවේ. විදේශීය ණය සේවාකරණය ලෙස රු. බිලියන 786 ක් ගෙවීමට තිබෙන අතර එය, ඇ.ඩො. මිලියන 4,650 කට සමාන මුදලකි. 

ඒ අනුව, අයවැය හිඟය පියවීම ඇතුළු ණය සේවාකරණයේ ද  අවශ්‍යතාවය සඳහා 2019 වසරේදී රු. බිලියන 1,944 ක් දේශීය හා විදේශීය ණය වශයෙන් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි.
 
රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 1,456 ක්ද, ප්‍රාග්ධන වියදම් සඳහා රු. බිලියන 856 ක් ද වෙන්කර ඇත.
 
ලක්ෂ 11 ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ සහ ලක්ෂ 06 ක් පමණ වන විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම ගෙවීම සඳහා පමණක් රු. බිලියන 1,000 ක් පමණ වැයවන අතර සමෘද්ධි, පාසල් නිල ඇඳුම්, නොමිලේ බෙහෙත්, වැඩිහිටි දීමනා, පොහොර සහනාධාර, පෝෂණ මල්ල, වකුගඩු රෝගීන් සඳහා වන දීමනා, විශේෂ හැකියාවන් ඇති අය වෙනුවෙන් ගෙවන දීමනා ඇතුළු සුභසාධන වියදම් සඳහා ලබන වසරට රු. බිලියන 220 ක් වෙන්කර තිබේ.
 
 ජනතාවට ඍජු ප්‍රතිලාභ අත්වන ව්‍යාපෘති රැසක් සඳහා මුදල් 

2019 අයවැය මඟින් ජනතාවට ඍජු ප්‍රතිලාභ අත්වන සේ මාර්ග සංවර්ධන, නිවාස සංවර්ධන, වාරිමාර්ග සංවර්ධන හා පානීය ජල යෝජනා ක්‍රම සංවර්ධන යන ක්ෂේත්‍ර  ඇතුළු ක්ෂේත්‍ර  රැසක විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
 
රට පුරා විමධ්‍යගත මට්ටමින් ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා දියත් කර ඇති ග්‍රාම ශක්ති, ගම්පෙරළිය,එක ගමකට එක් ව්‍යාපෘතියක් වැඩසටහන ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහාරු.බිලියන 63 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
 
2019 අය-වැය මගින් ජනතාවට සෘජු ප්‍රතිලාභ අත්වන සේ මාර්ග සංවර්ධනය නිවාස සංවර්ධන,වාරිමාර්ග සංවර්ධන හා පානීය ජල යෝජනාක්‍රම සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විසර්ජන පනතින් ප්‍රතිපාදන වෙන්කර ඇත. 

මහාමාර්ග ව්‍යාපෘති සඳහා රු. බිලියන 175 ක් ! 
 
2019 අය වැය මගින් අධිවේගී මාර්ග සංවර්ධන යටතේ දකුණු අධිවේගී මාර්ගය මත්තල දක්වා සංවර්ධනය කර අවසන් කිරීම හා කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය කඩවත සිට කෙරවළපිටිය දක්වා සංවර්ධනය කර අවසන් කිරීම සහ මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම ඇතුළුව පෑලියගොඩ සිට කොළඹ වරාය නගරය දක්වා කණු මත ඉදිවන වරාය පිවිසුම් මාර්ගය ඇතුළු මහාමාර්ග ව්‍යාපෘති සඳහා රු. බිලියන 175 ක් වෙන්කර ඇත.
 
උමා ඔය, මොරගහකන්ද ව්‍යාපෘති සම්පූර්ණ කිරීම ඇතුළු මධ්‍යම පරිමාණයේ සහ මහා පරිමාණයේ වාරි ව්‍යාපෘති  නිමකිරීම සඳහා රු. බිලියන 75 ක් වෙන්කර ඇත.
 
2019 අයවැය මඟින් රට පුරා විවිධ නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට හඳුනාගෙන ඇත. ඒ අනුව, මහා නගර සංවර්ධන අමාත්‍යාංශය මගින් නාගරික පුනරුදය සඳහා වන නිවාස යෝජනා ක්‍රම, නිවාස අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන නිවාස යෝජනා ක්‍රම, උතුරු නැගෙනහිර නිවාස යෝජනා ක්‍රම, වතුකරයේ නිවාස යෝජනා ක්‍රම ආදී විවිධ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති සඳහා අදාළ අමාත්‍යාංශ වලට 2019 වසරේදී රු. බිලියන 50 ක් වෙන්කර තිබේ. පෑලියගොඩ අලුත් පාලමේ සිට ලබන වසරේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහාද රු.බිලියන 05 ක් වෙන්කර ඇත.
 
යාපනය - කිළිනොච්චි ජල යෝජනා ක්‍රමය, කැළණි ගඟ දකුණු ඉවුර ජල යෝජනා ක්‍රමය, මාතලේ ජල යෝජනා ක්‍රමය ඇතුළු පානීය ජල යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රු. බිලියන 50 ක් වෙන්කර ඇත. මෙයට අමතරව, ක්‍රමෝපාය නගර සංවර්ධනය සඳහා දුම්රිය හා මහාමාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහාද මුදල් වෙන්කර ඇත.
 
විසර්ජන පනත් ලියවිල්ලේ වැඩිම මුදල මෙවරත් ආරක්ෂක අමාත්‍යංශයට !

2019 විසර්ජන පනත් කෙටුම්පත අනුව මෙවරද වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි. එය රු. බිලියන 306 කි. පළාත් සභාවලට ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 221 ක් වෙන්කර ඇත. එමෙන්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් සභා හා පළාත් පාලන, මුදල්, ධීවර ,කෘෂිකර්ම, බස්නාහිර පළාත් හා මහා නගර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකට ගිය වසරට වඩා වැඩි මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන්කර ඇත.
 
2019 විසර්ජන පනත් කෙටුම්පත මෙම මස 09 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර 2019 ට අදාළ අයවැය යෝජනාව නොවැම්බර් 05 වන දින ඉදිරිපත්කරනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න