පොලිසිවලට ලැබෙන පැමිණිලිවලින් සියයට 70% ක් විසඳිය යුතු බවට පොලිස්පතිවරයා ලබා දී ඇති නියෝග නිසා පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලි සටහන් පොත්වල සටහන් නොකර ඒ වෙනුවට තබාගෙන ඇති කොළ කඩනා විමර්ශන පොත හෙවත් K.K.I.B පොත්වල සටහන් කිරීමෙන් නියම දත්ත නීතිය හා සාමය අමාත්‍යාංශයට නොලැබෙන බවට තොරතුරු වාර්තා වේ.
ලැබෙන පැමිණිලිවලින් 70% ක් විසඳිය යුතු බව පූජාත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට පත් වූ පසුව නිත්‍ය දුරකථන පණිවුඩයක් (RTM) මගින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.
වාර්ෂිකව රටපුරා පොලිස් ස්ථාන 490 කට පැමිණිලි හැත්තෑ දහසත්, අසූදහසත් ලැබෙන අතර මේ වන විට අපරාධ අඩු වී ඇති බව පෙන්වීම සඳහා පැමිණිලි 30,000 - 40,000 ක් ලැබෙන බවට පොලිසිය අමාත්‍යංශයට කරුණු වාර්තා කර ඇත.
පොලිසියට ලැබෙන පැමිණිලි අනුව ඒවා සටහන් කර ගැනීමට වෙනම පොත් තබා ඇති අතර සුළු පැමිණිලි සඳහා MOIB පොතත්, බාල අපරාධ සඳහා GCIB පොතත්, අපරාධ සටහන් කිරීම සඳහා CIB පොතත් වශයෙන් භාවිත කරයි.
එහෙත් සැකකරුවන් නොමැති බරපතළ ගණයේ අපරාධ මෙසේ වෙන් කර ඇති පොත්වල සටහන් නොකර කොළ කඩන IB හි සටහන් කිරීමෙන් එම පැමිණිලිවලට අදාළ වැරදිකරුවන් සොයාගෙන පසුව පැමිණිලිකරුවන් නැවත කැඳවා නියමිත පොතෙහි පැමිණිළි සටහන් කරගනියි.
පොලිස්පතිවරයා ලබා දී ඇති පැමිණිලි විසඳීමේ ඉලක්කය නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් බහුතරයක් මෙසේ වයාජ පැමිණිලි සටහන් පොත් නිසා නියමිත දත්ත හෙළි නොවෙයි.
මීට අමතරව පැමිණිල්ලට ලැබෙන නියමිත තොරතුරු සටහන් නොකර ඒවායෙහි බරපතලකම තව අඩු කර සටහන් (රුපියල් 500000 (ලක්ෂ 05) රුපියල් 50,000 (පනස්දහස) ලෙස සටහන් කරන අතර එය පොලිස් භාෂාව අනුව 50 කරනවා යැයි සඳහන් කරයි) මෙසේ පැමිණිලි වැඩි වූ පසුව පොලිස්පතිවරයාගේ පාලනය දුරුවලකම පෙන්වන්නක් නිසා ඔවුන් එම ක්‍රියාවට යොමුව ඇත.
ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළේ අපරාධ අඩු වී ඇති බවට ඇතැමුන් හැඳින්වූවත් රට තුළ අපරාධ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
මේ ආකාරයට හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගේ කාලයේ ගම්පහ පොලිසියේ ස්ථානාධිපතිවරයකු KKIB පොතක් තබාගෙන සිටියදී හසු විය.
ඊට අමතරව මීට සති කිහිපයකට ඉහතදී ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ලක් ඒ ආකාරයට සටහන්කර පසුව එය පොලිස් සහන මැදිරියට ලබාදීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකර තිබේ.
මෙම සුවිශේෂ පොත (KKIB) පොලිස්ථානයන්හි ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ අනුදැනුම ඇතිව ඔවුන්ට හිතවත්ව කිහිප දෙනකු අතට පත් කරන්නක් බවද වාර්තා වේ.
(අරුණ)

