Image

මළ සිරුරක මුහුණට හෝ ඇඟිල්ලට ස්මාර්ට් දුරකතනයක් අවදි කළ හැකිද? - අපරාධ විද්‍යාව සහ තාක්ෂණය අතර ගැටුම

මළ සිරුරක මුහුණට හෝ ඇඟිල්ලට ස්මාර්ට් දුරකතනයක් අවදි කළ හැකිද? - අපරාධ විද්‍යාව සහ තාක්ෂණය අතර ගැටුම

මෑතක දී ශ්‍රී ලංකාවේ සිදුවූ එක්තරා අපරාධ පරීක්ෂණයක දී, මියගිය පුද්ගලයකුගේ දුරකතනය අගුළු හැරීම (Unlock) සඳහා විමර්ශන නිලධාරීන් එම දේහයේ මුහුණ භාවිතා කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට අධිකරණයට වාර්තා විය. මෙය සමාජය තුළ මහත් කුතුහලයක් මෙන්ම ඇතැම් විට උපහාසාත්මක කතාබහක් ද ඇති කිරීමට සමත් විය. නමුත් මෙහි සැබෑ තාක්ෂණික පසුබිම කුමක්ද? මියගිය අයෙකුගේ මුහුණට හෝ ඇඟිලි සලකුණට නවීන ස්මාර්ට් දුරකථනයක් ප්‍රතිචාර දක්වන්නේ ද?

ජෛවමිතික ආරක්ෂාව (Biometric Security) යනු කුමක්ද?

අද වන විට අප භාවිතා කරන දුරකතනවල රහස්‍යභාවය රැකගැනීම සඳහා මුහුණ හඳුනාගැනීම (Face ID/Recognition) සහ ඇඟිලි සලකුණු (Fingerprint) යනාදි ජෛවමිතික ක්‍රමවේද භාවිත වේ. මෙම පද්ධති නිර්මාණය කර ඇත්තේ හුදෙක් රූපයක් හෝ රටාවක් හඳුනාගැනීමට පමණක් නොව, එම පුද්ගලයා ගේ 'සජීවී බව' (Liveness) ද තහවුරු කරගැනීමටය.

Biometrics

Face ID සහ මළ සිරුර: තාක්ෂණික බාධක

iPhone බඳු උසස් දුරකථනවල ඇති Face ID තාක්ෂණය මියගිය අයෙකු ගේ මුහුණට ප්‍රතිචාර නොදැක්වීමට ප්‍රධාන හේතු තුනක් පවතී:

1. අවධානය හඳුනාගැනීම (Attention Awareness):

Apple සමාගමේ Face ID පද්ධතිය ක්‍රියා කිරීමට නම් පරිශීලකයා දෑස් විවෘත කර දුරකතනය දෙස කෙළින් බලා සිටිය යුතු ය. මියගිය පුද්ගලයකු ගේ දෑස් පියවී තිබීම හෝ ඒවායේ ස්වභාවික චලන නොමැති වීම නිසා පද්ධතිය එය හඳුනා නොගනී.

2. ත්‍රිමාණ සිතියම්කරණය (3D Mapping)

මෙය සාමාන්‍ය ඡායාරූපයක් නොව, අධෝරක්ත කිරණ තිත් 30,000කට වඩා මුහුණ මත විහිදුවා සාදාගන්නා ත්‍රිමාණ ආකෘතියකි. මරණයෙන් පසු සිරුරේ පටක ඉදිමීම හෝ මාංශ පේශිවල තද බව (Rigor Mortis) වෙනස් වීම නිසා මුහුණේ සියුම් හැඩතල වෙනස් වේ. එවිට පද්ධතිය එම මුහුණ මීට පෙර ගබඩා කළ දත්ත සමඟ නොගැලපෙන බව තීරණය කරයි.dead body covered with body bag 361 1

3. අධෝරක්ත පරාවර්තනය: (Infrared reflection)

ජීවී සමක් අධෝරක්ත කිරණ පරාවර්තනය කරන ආකාරය සහ මළ සිරුරක සම එම කිරණ පරාවර්තනය කරන ආකාරය අතර භෞතික විද්‍යාත්මක වෙනසක් පවතී.

ඇඟිලි සලකුණු (Fingerprint) භාවිතා කළ හැකිද?

මුහුණට වඩා ඇඟිලි සලකුණු භාවිතයෙන් දුරකතනයක් අන්ලොක් කිරීමේ දී තත්ත්වය වෙනස් වේ. මෙහි දී තීරණාත්මක සාධකය වන්නේ දුරකතනයේ ඇති සංවේදක වර්ගයයි (Sensor Type).

1. විද්‍යුත් ධාරිතා සංවේදක (Capacitive Sensors)

බොහෝ දුරකථනවල පැත්තේ හෝ පිටුපස ඇති මෙම සංවේදක ක්‍රියා කරන්නේ අපේ ශරීරයේ ඇති ඉතා සුළු විද්‍යුත් ආරෝපණය (Electricity) මගිනි. පුද්ගලයෙකු මියගිය පසු ශරීරයේ විද්‍යුත් සන්නායකතාවය ක්ෂණිකව නැති වී යයි. එවිට එම සංවේදකයට ඇඟිලි සලකුණ කියවීමට අවශ්‍ය විද්‍යුත් උත්තේජනය නොලැබේ.

2. දෘශ්‍ය සංවේදක (Optical Sensors)

තිරය මත ඇඟිල්ල තැබූ විට ආලෝකයක් විහිදුවන (In-display) දුරකතනවල ඇත්තේ කැමරාවක් බඳු පද්ධතියකි. මරණයෙන් පසු ඉතා කෙටි කාලයක් ඇතුළත (සම රැලි වැටීමට පෙර) මෙම සංවේදක හරහා දුරකතනය අන්ලොක් වීමට යම් සම්භාවිතාවක් පවතී. නමුත් මළ සිරුර නරක් වීමට පටන් ගත් පසු මෙය කළ නොහැකි වේ.

3. අතිධ්වනි සංවේදක (Ultrasonic Sensors)

නවීනතම Samsung S Series වැනි දුරකතනවල ඇති මෙම පද්ධතිය මගින් ඇඟිල්ලේ ත්‍රිමාණ රටාවක් ලබා ගනී. මෙය වඩාත් ආරක්ෂිත වන අතර මියගිය අයකුගේ ඇඟිල්ලක් මගින් මෙය ක්‍රියා කරවීම අතිශය දුෂ්කර ය.

විමර්ශන නිලධාරීන් අසාර්ථක වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීමේදී මෙන්, පොලිසිය මළ සිරුරක මුහුණට දුරකථනය ලං කරන්නේ එම තාක්ෂණික සීමාවන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම නිසා විය හැකි ය. මීට අමතරව තවත් වැදගත් කරුණක් වන්නේ Security Lockout කාලයයි.

බොහෝ ස්මාර්ට් දුරකථන පැය 48ක් වැනි කාලයක් අගුළු හැර නොමැති නම්, ස්වයංක්‍රීයවම ජෛවමිතික ක්‍රම (Face/Fingerprint) අක්‍රිය කර මුරපද (Passcode) ඉල්ලා සිටී. එසේම, කිහිප වතාවක් වැරදි ලෙස මුහුණ හෝ ඇඟිල්ල හඳුනාගැනීමට උත්සාහ කළහොත් පද්ධතිය සම්පූර්ණයෙන්ම අගුළු වැටේ.

පශ්චාත් මරණ පරීක්ෂණ සහ තාක්ෂණික අභියෝගය

අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, මරණයෙන් පසු සිරුරේ සිදුවන ජෛව රසායනික වෙනස්කම් (Post-mortem changes) තාක්ෂණික මෙවලම් සමඟ ගනුදෙනු කිරීමේ දී තීරණාත්මක වේ. ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා පටක මෘදු කරන රසායනික ද්‍රව්‍ය භාවිතා කළ හැකි වුවද, ඒවා දුරකතන සංවේදක මත ක්‍රියා කරවීම ප්‍රායෝගික නොවේ.

මියගිය පුද්ගලයකු ගේ දුරකතනයක් අන්ලොක් කිරීමට ඇති සාර්ථකම ක්‍රමය වන්නේ ඔහුගේ මුහුණ හෝ ඇඟිල්ල භාවිතා කිරීම නොව, දියුණු මෘදුකාංග තාක්ෂණය (Forensic Software) හරහා පද්ධතියට ඇතුළු වීමයි. එබැවින් මළ සිරුරක මුහුණට දුරකතනය ළං කිරීම මගින්  එහි අගුළු  විරහිත කිරීම යනු නූතන තාක්ෂණික ලෝකයේ සාර්ථක ප්‍රතිඵල ලබා නොදෙන, හාස්‍යයට කරුණක් වන ක්‍රියාවකි. නමුත් එයින් ගම්‍ය වන්නේ අප භාවිතා කරන තාක්ෂණයේ ඇති සුරක්ෂිතභාවය යි. නවීන ජංගම දුරකතන  ආරක්ෂණ පද්ධති නිර්මාණය කර ඇත්තේ 'සජීවී' මිනිසා වෙනුවෙන් ම පමණි. මෙවන් අවස්ථාවල දී විමර්ශන නිලධාරීන් මීට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේද (Digital Forensics) කෙරෙහි යොමු වීම  වඩාත් ඵලදායී වනු ඇත.

ඔබගේ දුරකතනයේ ආරක්ෂාව සඳහා සැමවිටම අමතර ආරක්ෂක පියවරක් ලෙස ශක්තිමත් මුරපදයක් (Strong Passcode) භාවිතා කිරීමට අමතක නොකරන්න. මක්නිසාද යත් ජීව විද්‍යාත්මක දත්ත (Biometrics) තාක්ෂණය හමුවේ ඇතැම් විට අසරණ විය හැකි බැවිනි.

පාලිත බණ්ඩාර සුබසිංහ

 

 

 

 

වෛද්‍ය නීතිඥ Palitha Bandara Subasinghe

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න