ගාල්ල කොග්ගල මුහුදු තීරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්ට හැකිවිය.
ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තීරයේ පෙරේදා (23දා) කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනකු හා තවත් පිරිසක් දිය නාමින් සිට ඇත. ඒ අවස්ථාව වන විට තවත් විශාල පිරිසක් මෙම ස්ථානයේ දිය නාමින් සිටියහ.
එකවරම මුහුද රළු වී මුහුදු ජලය වැඩිවීම නිසා දිය නාමින් සිටි උපන්දින සාදයට පැමිණ සිටි පිරිස අතර සිටි තරුණ කාන්තාවන් 04 දෙනකු දියේ ගිලී ගසාගෙන යන්නට විය.
උපන්දින සාදයට පැමිණ සිටි පිරිස අතර සිටි වයසක කාන්තාවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගැසුවත් රළ නඟන මුහුදු ජලයේ ශබ්දය නිසා කිසිවකුගේ අවධානයක් එයට යොමුවී නැත.
අනතුර සිදුවන අවස්ථාවේ හිමිනම වාහනයක :
මේ අතර ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති දේවාලයේහිද අජිත හිමියන්ගේ මුල්ගම වන අම්පාරේ සිට පැමිණි නෑදෑයන් පිරිසක් කොග්ගල හරහා ගමන් කරමින් සිට ඇති අතර එම පිරිස අතර වූ කණ්ඩායමක් කොග්ගල මුහුදු වෙරළ බලන්න යමු කියා යෝජනා කර ඇත. ඒ නිසා මෙම මහා අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයට මේ පිරිසද වාහනයකින් පැමිණ සිටියහ.
මේ පිරිස අතර ගාල්ල පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති දේවාලයේහිද අජිත හිමියන්ගේ ශිෂ්‍යයකු වූ තරුණ භික්ෂුවක් වූ කොක්මාදුව අනුරුද්ධ හිමියෝද මේ වාහනයේ සිටියහ.
උදවු ඉල්ලා කෑ ගසන ඒ අම්මා පිළිබඳව අවධානය යොමු කළ උන්වහන්සේ වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනකු බේරාගත් අතර එම අවස්ථාවේ කොග්ගල මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙක්ද එක් කාන්තාවක් බේරා ගන්නට අප හිමියන්ට සහයෝගය දී ඇත.
අසරණයට උපකාර කරන්න:
මේ අනුව දියේ ගිලෙමින් සිටි තරුණ කාන්තාවන් හතර දෙනකුගේ දිවි බේරා ගන්නට උන්වහන්සේට හැකි වී ඇත. දිවි බේරා ගත් කාන්තාවන් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
අප හිමියෝ මේ සම්බන්ධයෙන් පැවසුවේ, 'ආරක්ෂාව පිළිබඳව යම් දෙයක් මෙවැනි ස්ථානවල තිබිය යුතුයි. මම සිවුර උනා දමා මුහුදට පැන අසරණ ජීවිතය ඉල්ලා කෑ ගසන පිරිස අතර සිටි කාන්තාවන් හතර දෙනකු බේරාගත්තා. මට එතරම් පිහිනන්නත් බෑ. නමුත් මම මේ දේ කළා. අසරණයට උපකාර කරන්න බුදු දහමේදී කියා තියෙනවා. ඒ නිසා මම එය සිදුකළා' යනුවෙනි.