Language Switcher

V2025

කුමාර වෙල්ගමගේ ගමන අවසන් ! : "ගෝඨා" පාර්ශවය තීන්දුවක් අරගෙන !

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ දේශපාලන ජීවිතය අවසන් කර ඔහුව කරළියෙන් ඉවත්කළ යුතු බවට  ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සිටින ගෝඨාභය පාර්ශවය තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

එහි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (15) මහනුවර පැවති පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුවේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉලක්ක කර දැඩි විවේචනයක්ද එල්ල කර ඇත්තේ එම තීන්දුව මතය.
වාර්තා වන ආකාරයට ගෝඨාභය පාර්ශවයේ මෙම තීන්දුව ගැනීමේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් 7ක්, විශ්‍රාමික හමුදා ප්‍රධානීන් 3ක් මෙන්ම වෛද්‍යවරුන් දෙදෙනෙක් සහභාගීව ඇත.   එහිදී වඩාත් අවධානය යොමුවී ඇත්තේ දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂව විවේචනය කරන ප්‍රතිපත්තියක කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සිටීමය. එසේම භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ගනුලැබූ උත්සාහය අකර්මණ්‍ය කිරීමත්, ප්‍රසිද්ධියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට පවා අභියෝගවන ආකාරයට හැසිරීම සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවී තිබේ.
මහින්ද ගැනත් තක්සේරුවක් !
වාර්තා වන ආකාරයට නාමල් රාජපක්ෂට එළඹෙන ජනාධිපතිවරණය සඳහා අවස්ථාව නොමැතිවීම හමුවේ හිටපු ජනාධිපතිවරයාද 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් උපරිම කැපවීමක් දක්වයි කියා විශ්වාස කළ නොහැකි බවද එහිදී බරපතල ලෙස සාකච්ඡාවී තිබේ. ඒ අනුව පළමුව කුමාර වෙල්ගමට ප්‍රසිද්ධියේ අභියෝග කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම අවස්ථාව පොදුජන පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපෘතිය බවත් මේ සාකච්ඡාවට සහභාගීවූවන්ගේ තක්සේරුව වී ඇති අතර ඒ හරහා තම පාර්ශවය තුළ ඔහුට උන්හිටි තැන් අහිමි කිරීම පහසු බවද අදහසවී තිබේ.
 සාමාන්‍යයෙන් එකම කඳවුරේ සිටින දේශපාලනඥයකු විවේචනය නොකරන ආකාරයේ දැඩි  විවේචනයක්  කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට එල්ල කර ඇත්තේ ඒ අනුවය.
රෙද්ද ගැට ගහගන්න බැරි යකෙක් - රනිල්ගේ කොන්ත්‍රාත්කාරයෙක් !
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාව හඳුන්වා තිබුණේ "කොහෙවත් ඉන්න නර පණුවෙක්, හරියට  රෙද්දවත්  ගැට ගහගන්න බැරි යක්කු" ලෙසින්ය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියේ කුමාර වෙල්ගම රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත් කාරයෙකු බවය.
මහින්දට කළින්ම දන්වලා !
මේ අතර අප කළ වැඩිදුර සොයා බැලීමේදී දැනගන්න ලැබුනේ "ගෝඨා" පාර්ශවයේ මේ විල්ගම විරෝධය සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාටද පූර්ව දැනුම්දීමක් සිදුකර ඇති බවය. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා "සිනාසෙමින්, තමුසෙලාට වෙල්ගම ගහයි, බලාගෙන" කියා තිබෙන බවද දැනගන්නට ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කිහිපදෙනෙක් ඊළඟ ලැයිස්තුවේ !
මේ අතර වෙල්ගම මන්ත්‍රීවරයා මෙන්ම ඉදිරියේදී වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයන් කිහිපදෙනෙකු සම්බන්ධවද "ගෝඨා" පාර්ශවය බරපතල දේශපාලන ප්‍රහාරයක් දියත් කරන්න නියමිත බව දැනගන්නට ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ ඒකාධිපතියකු බවත් ඒ වෙනුවට චමල් රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ යුතු බවට දිගින් දිගටම සඳහන් කරමින් සිටින නිසාය.